rajarata-university-vc-case

නීති විරෝධීව අයුතු ජන රාශියක නියැලෙමින් රජරට විශ්වවිද්‍යාලයේ එවකට සිටි උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතාට සාපරාධී බලහත්කාරය පා අඩන්තේට්ටම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි, රජරට විශ්වවිද්‍යාලයේ හිටපු ශිෂ්‍ය ක්‍රියාකාර්න් 17දෙනෙක් අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදී හේවාවසම් මහත්මිය ඉදිරියේදී එකී චෝදනාවට වරද පිළිගත්හ.


ඒ අනුව රජරට විශ්වවිද්‍යාලයේ හිටපු ශිෂ්‍ය ක්‍රියාකාරි  17දෙනාට වෙන් වෙන් වශයෙන් රුපියල් 1500 බැගින් රජයේ ගාස්තු අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් නියම කර ඇත.එවකට රජරට විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් ලෙස සිට ඇති මෙම සැකකරුවන් මේ වන විට උපාධිය ලබා රජරට විශ්වවිද්‍යාලයෙන් පිටව ගොස් රජයේ සහ පෞද්ගලික ආයතනවල රැකියා කිරීම ස

ැලකිල්ලට ගනිමින් ඔවුනට මෙලෙස දඩ හෝ සිර දඬුවම් හෝ අත්හිටවූ සිර දඬුවම් නියම නොකොට, රුපියල් 1500 බැගින් රජයේ ගාස්තුවක් පමණක් නියම කිරීමට අතිරේක මහේස්ත්‍රාත්වරිය එහිදී තීන්දු කළාය.


2018 වසරේ මැයි මස 17වැනි දින රජරට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙහිදී එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාව සිටි මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතාට අයුතු අවහිර කරමින් අඩන්තේට්ටම් සිදු කළ බවට මිහින්තලේ පොලීසිය මගින් මෙම සැකකාර හිටපු ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට එරෙහිව අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබිණ. මෙහිදී සැකකරුවන් වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ චන්දන වීරකෝන් මහතා පැවසුවේ, මෙම සිද්ධිය සිදුව ඇති 2018 වසරේ සියලු සැකකරුවන් රජරට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් ලෙස අධ්‍යාපනය ලබමින් සිට ඇති බවයි. මේ වන විට ඔවුන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර කොට උපාධිය ලබා පිටව ගොස්,

රජයේ සහ පෞද්ගලික ආයතනවල රැකියාවන්හි නියැළී සිටින බවද අධිකරණයට අවධාරණය කළ නීතිඥවරයා වරද පිළිගෙන මෙම නඩුව කෙටියෙන් අවසන් කර ගැනීමට සැකකරුවන් එකඟතාව පළ කරන බවද සඳහන් කළේය.


අධිකරණයේ කාලය මිඩංගු නොකොට වරද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කර ගැනීමට සැකකරුවන් එකඟතාව පළ කිරීම කෙරෙහි අධිකරණයේ විශේෂ අවධානය යොමු කරවන ලෙසද අධිකරණයෙන් අයැද සිටි, ජ්‍යෙෂ්ඨ නීතිඥ චන්දන වීරකෝන් මහතා සියලු සැකකරුවන්ට ඔවුන්ගේ රැකියාවලට බල නොපාන අයුරින් රජයේ ගාස්තුවක් පමණක් නියම කර මෙම නඩුව අවසන් කරන ලෙසද ඉල්ලා සිටියේය. නීතිඥවරයාගේ කරුණු සැල කිරීම කෙරෙහි අවධානය යොමු කළ අතිරේක මහේස්ත්‍රාත්, මනෝදී හේවාවසම් මහත්මිය හිටපු ශිෂ්‍ය ක්‍රියාකාරී සියලු සැකකරුවන්ට වෙන් වෙන් වශයෙන් රුපියල් 1500 බැගින් රජයේ ගාස්තුවක් පමණක් නියම කිරීමට මෙලෙස නියෝග කළාය.

පැමිණිල්ල වෙනුවෙන් මිහින්තලේ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් මත සැරයන් හේරත් මහතා පෙනී සිටි අතර සැකකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ චන්දන වීරකෝන් මහතා පෙනී සිටියේය.මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන්ම චෝදනා ලබා සිටින රජරට විශ්වවිද්‍යාලයේ හිටපු තවත් ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් පිරිසක් ඔවුනට එරෙහිව පැවති චෝදනාවන්ට නිවැරදිකරුවන් බව අධිකරණයට දැන්වීම හේතුවෙන් ඊට අදාළ නඩුව ඉදිරියේදී තව දුරටත් කැඳවීමට අධිකරණය නියෝග කොට තිබේ.
  උපාලි ආනන්ද