range-thalatha

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා එජාප මහලේකම් ධුරයෙන් ඉවත් කර තිබේ. රංගෙ බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමට අදාළ ලිපියට පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29දා) අත්සන් තබා ඇති බව වාර්තා විය. එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස ලැබුණු බලතල අනුව රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම තීරණය ගෙන ඇති අතර, පාලිත රංගෙ බණ්ඩාර මහතා මහ ලේකම් ධුරයට අදාළ රාජකාරි නිසියාකාරව සිදු නොකිරීම යන චෝදනාව මූලික කරගනිමින් පක්ෂ නායකත්වය විසින් අදාළ තීරණය ගෙන ඇති බව ද වාර්තා වේ.




එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් කළ විමසීමේදී පැවසුවේ ඒ සම්බන්ධව කිසිදු දැනුම් දීමක් තමාට සිදු කර නොමැති බවයි. තමන්ට යමක් පැවසීමට ඇත්නම් මාධ්‍ය හමුවක් කැඳවන බවත්, එතෙක් තමන්ට කරදර නොකරන ලෙසත් ඔහු ප්‍රකාශ කළේය.සමගි ජන බලවේගයෙන් ඉවත් වූ තලතා අතුකෝරල මහත්මිය එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයට පත් කරන ලෙස පක්ෂයේ බහුතර නිලධාරී පිරිසක් ඉල්ලීම් කර ඇති බව ද එම පක්ෂයේ දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ.කෙසේ වෙතත් මේ වන තෙක් තලතා අතුකෝරළ මහත්මිය එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන නොමැති අතර, ඇය එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වන බවට ප්‍රකාශයක් ද සිදු කර නැත.
(නවෝද්‍යා පවනි)