ranil-mahinda-pavithra
ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන අපේක්ෂකයා කවුරුන් විය යුතුදැයි විමසීම සඳහා වන සංරක්ෂණ, වන ජීවී සහ වාරිමාර්ග ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තම ආධාරකරුවන් කැඳවා රැස්වීමක් පැවැත්වූ අතර එහිදී තමා සහාය ලබා දිය යුත්තේ කුමන අපේක්ෂකයාට දැයි රහසිගත මත විමසුමක් සිදුකර තිබේ.ඇමැතිවරියගේ සහාය ලැබිය යුතු අපේක්ෂකයා කවුරුන්දැයි සටහන් කරන ලෙස පත්‍රිකාවක් ද මෙහිදී ලබා දුන් අතර ඇමැතිනියගේ ආධාරකරුවෝ එය පුරවා ලබා දුන්හ.






මෙම විශේෂ රැස්වීම ඊයේ 01 වැනිදා පැල්මඩුල්ල රිල්හෙනේ පිහිටි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ නිවසේදී කැඳවා තිබිණි.රත්නපුර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ නියෝජනය කළ හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීහු රැසක්ද ප්‍රාදේශීය සභා සහ නගර සභා හිටපු මන්ත්‍රීවරු රැසක්ද පොදු ජන පෙරමුණේ කොට්ඨාස මට්ටමේ ක්‍රියාකාරිකයෝ රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.


තමා පළාත් සභා මන්ත්‍රිනියක සිට ප්‍රබල අමාත්‍යාංශ රැසක් මෙහෙයවීම දක්වා ඔසවා තැබුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව බවද ඇමැතිනිය මෙහිදී පැවැසුවාය.ඒ නිසා මේ තීරණාත්මක අවස්ථාවදී තමා ඉහළට රැගෙන ගිය ජනතාවගේ තීරණය දැන ගැනීමට අදහස් කළ බවද ඒ අනුව ජනාධිපතිවරණයේදී සහාය ලබා දෙන්නේ කාටදැයි තීරණය කරන බව ද ඇමැතිවරිය පැවැසුවාය.




මෙම සාකච්ඡාවේදී අදහස් දැක්වූ පොදු ජන පෙරමුණේ ක්‍රියාකාරිකයන් කිහිප දෙනෙකු සඳහන් කළේ ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇමැතිනියගේ සහාය ලබා දෙන ලෙස තමන් යෝජනා කරන බවයි.පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයකු සඳහන් කළේ පොහොට්ටුවෙන් ඉදිරිපත් කිරීමට නියමිත ජනාධිපති අපේක්ෂකයාට සහාය ලබා දිය යුතු බවයි.ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ තීරණය ළඟදීම දෙන බව ඇය තම ආධාරකරුවන්ට පැවැසුවාය.

ලසන්ත නිරෝණ පෙරේරා