ranil-speaks

ලංකාවේ රාජපක්ෂලා ලක්ෂ ගණනක් සිටින බවත්, ඉන් සමහර අය තමාට ඡන්දය ලබා දෙනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. කෙසේ වෙතත් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ විජයදාස රාජපක්ෂ යන අපේක්ෂකයන් තිදෙනාම තමා සමඟ නොමැති බව ජනාධිපතිවරයා සඳහන් කළේය. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඉදිරිපත් වූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමේ Ask Ranil වැඩසටහනට පසුගියදා එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.

“රාජපක්ෂ නමින් අපේක්ෂකයන් තුන්දෙනක් සිටිනවා. ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ ඉන්නවා, නාමල් රාජපක්ෂ ඉන්නවා, විජයදාස රාජපක්ෂ ඉන්නවා.

නමුත් ඒ එක්කෙනෙක්වත් අප සමඟ නැහැ. 2022 ජූලි මාසයට වඩා අද තත්ත්වය හොඳයිද? එසේත් නැත්නම් අද තත්ත්වය ඊට වඩා උග්‍ර වෙලාද? ආණ්ඩුව ගෙන යන්න මට පොහොට්ටුවේ සහයෝගය ලැබුණා. පොහොට්ටුවේ සහයෝගය එපා කියලා, තෙල් නැතුව, පොහොර නැතුව ඉන්න තිබුණා. ඒ ආණ්ඩුවේ වැඩකටයුතු එතැනින් ඉවරයි. දැන් මැතිවරණයකට යනවා.

ඔවුන් ඔවුන්ගේ මාර්ගයේ යනවා. මම මගේ මාර්ගයේ යනවා. ලංකාවේ රාජපක්ෂලා ලක්ෂ ගණනක් ඉන්නවා. ඉන් සමහර අය මට ඡන්දය ලබා දෙන්න පුළුවන්. කෙසේ නමුත් ජනාධිපතිවරණයේදී එම පක්ෂය තීරණය කර තිබෙනවා පක්ෂයක් ලෙස වෙනම ඉදිරිපත් වීමට. අප ඉදිරිපත් වන්නේ වෙනමයි” යනුවෙන් ජනාධිපතිවරයා පැවැසීය.



පසුගිය දශක කිහිපය තුළ රටට ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ළඟාකර ගැනීමට නොහැකි වූයේ දේශීය ආර්ථිකයක් ගැන කතා කරමින් ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ ගෙනගිය මතවාද නිසා බවද හෙතෙම සඳහන් කළේය.

දේශීය ආර්ථිකය මතින් පමණක් ඉදිරියට යා හැකියැයි ඇතැමුන් සිතුවද රට විවෘත විය යුතු බවත්, මේ රට තුළ පමණක්  කටයුතු කළ යුතුයි  කියා ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ පැවැසූ නිසා බලාපොරොත්තු වූ එම ශීඝ්‍ර දියුණුව ලබා ගැනීමට නොහැකි වූ බවත් ඔහු කීය.

පිටතට විවෘත නොවූ කිසිදු රටක් සාර්ථක වී නැති බවත්, සිංගප්පූරුව, හොංකොං ඇතුළු සාර්ථකත්වයක් ලබා තිබෙන රටවල් දෙස බැලූ විට එය තහවුරු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.



කිසිවකුට විසඳිය නොහැකි යැයි පැවැසූ ආර්ථික අර්බුදය විසඳීමට තමන් සමත් වුවත් නිසි ආර්ථික පරිවර්තනයක් සිදු නොකර මෙම වැඩපිළිවෙළ අතරමඟ නතර කළහොත් යළිත් රටේ ආර්ථිකය කඩාවැටෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

රට හමුවේ ඇති ආර්ථික අර්බුදය විසඳීමට නම් පක්ෂ බේදයෙන් තොරව අලුතින් සිතා අලුත් වැඩපිළිවෙළකට යා යුතු බව කී හෙතෙම  ඒ වෙනුවෙන් විශාල කණ්ඩායමක් තමා සමඟ එක්ව සිටින බවත්, එබැවින් මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට තීරණය කළ බවත් ප්‍රකාශ කළේය.

අමිත් මධුරංග ගමගේ