ජනතාව ආරක්ෂා කිරීමට විපක්ෂනායකවරයාටද යුතුකමක් තිබූ බවත් නමුත් ඔහු එය ඉටු නොකළ බවත් මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වී සිටින ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.මැතිවරණ ඉල්ලමින් අධිකරණයට ගිය පිරිසගේ පරමාර්ථය ජනතාව පීඩාවෙන් මුදා ගැනීම නොව, තම බලය තහවුරු කර ගැනීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. තමා එදා මැතිවරණ පැවැත්වීමට මුදල් වැය කළා නම් අද රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට නොහැකි වන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සුරැකීම මූලික අයිතිවාසිකම් කඩකිරීමක් ලෙස සලකනවා නම් තමන් ඊට මුහුණදීමට සූදානම් බවද අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පෙරේදා (24දා) පස්වරුවේ දඹුල්ල බස් නැවතුම්පොළ භූමියේදි පැවති 'පුළුවන් ශ්‍රී ලංකා’ දඹුල්ල ජනරැලිය අමතමිනි. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ,දැක්මක් සහ වැඩපිළිවෙළක් නොමැති බලය ලබා ගැනීමට පමණක් උත්සාහ කරන පිරිසකට මේ අවස්ථාවේ රට භාරදුනහොත් රටේ විනාශය වළක්වාගත නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, පසුගිය දෙවසර තුළ අසීරුවෙන් ලබාගත් ජයග්‍රහණ ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යාමට මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව සිය ඡන්දය භාවිතා කළ යුතු බවද සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
“මම අද ඔබ ඉදිරියට පැමිණ සිටින්නේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසයි. මම මේ තනතුර භාරගත්තේ ජනතාව වෙනුවෙන්.
එදා තිබුණ අර්බුද අවසන් කර රටේ ස්ථාවරත්වය ඇති කිර්මට මම කටයුතු කළා. මට අවශ්‍ය වුණේ එදා තිබූ ප්රචණ්ඩ ක්‍රියා නැවැත්වීමටයි. එදා එම ප්‍රචණ්ඩක්‍රියා නැවැත්වුවේ නැත්නම් පාර්ලිමේන්තුවත් අහිමිව අපටද අද බංග්ලාදේශයට මුහුණදීමට සිදුවූ තත්ත්වයට මුහුණදීමට සිදු වෙනවා. එදා අවනීතිය රජ කළා. එක් කණ්ඩායමක් තමන්ගේ සතුරන්ට පහරදීමට පටන් ගත් අතර තවත් පාර්ශ්වයක් රට පාලනය කිර්මට උත්සාහ කළා.
නමුත් මම එක් කණ්ඩායමක ජනාධිපතිවරයා නොවී රට වෙනුවෙන් ඉදිරියට පැමිණියා. එදා අරගලයට සහාය ලබාදුන් තරුණ තරුණියන් රටේ වෙනසක් ඉල්ලා සිටියා. මම ඔවුන්ට ඇහුම්කම් දුන්නා. අද මම රට තුළ එම වෙනස ආරම්භ කර තිබෙනවා. එය ඉදිරියට ගෙන යාමට මට සහාය ලබාදෙන ලෙස මා ඔබ සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.”
නවෝද්‍යා පවනි
0 Comments