රාජපක්ෂ ජනාධිපතිවරයා අගමැති වන ලෙස ආරාධනා කළ විට පවා ප්‍රතික්ෂේප කළේ රටේ සම්පත්, දේපළ, මුදල් හොරා කෑ හොරුන්ගේ රැකවලා බවට තමාට පත්වීමට සිදුවන නිසා බව සජබ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. මීරිගම නගරයේ පැවැති ජන රැලිය අමතමින් හෙතෙම මේ අදහස් පළ කළේය. එහිදී සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය.
“මාව කිසිදු දිනක තනතුරුවලින් බා ගන්න බෑ.
මුදල්වලට අලෙවි වෙන්න මං සූදානම් නැහැ. අවස්ථාවාදී දේශපාලනය අනුගමනය කරන්නේ නෑ මම. 2018 දින 52 කුමන්ත්‍රණය අවස්ථාවේ තමාට 71 වතාවක් අගමැතිකම භාරගන්නා ලෙස ආරාධනා කළත්, මම එය ප්‍රතික්ෂේප කළේ තමාට එවක අගමැතිකමට ජනවරමක් නොලැබුණු නිසයි. මුදලට, වරදාන වරප්‍රසාදවලට විකිණෙන අවස්ථාවාදී දේශපාලනය අපි ළඟ නැහැ.
අවස්ථාවාදී, බඩගෝස්තරවාදී දේශපාලනය මුදුන්පත් කරගෙන තනතුරු තානාන්තර පසුපස යෑමට මට අවශ්‍ය නෑ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අගමැති වන ලෙස ආරාධනා කළ විට පවා ප්‍රතික්ෂේප කළේ මේ හේතුව නිසයි. මගේ කණ්ඩායමත් කිසිදු දිනක වෙන්දේසි වෙන අය නෙමෙයි.
ඒ වගෙම රටක් පාලනය කිරීම රටට සේවය කිරීමක්. එය මහා භාරදූර කර්තව්‍යයක්. වැටී ඇති ආර්ථික ප්‍රපාතයෙන් රට ගොඩ ගැනීම සඳහා ක්‍රමෝපායික දත්ත කේන්ද්‍රීය විද්‍යාත්මක ආර්ථික සැලසුමක් ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතුයි. ඒ තුළින් දුක්විඳින ජනතාවගේ ප්‍රශ්නවලට ක්‍රම ක්‍රමයෙන් විසඳුම් ලබා දිය හැකියි.
රට මේ තැනට වැටුණේ ලාභයක් නොමැති සුදු අලි ව්‍යාපෘති නිසා. රටක් ලෙස මේ තැනට වැටීමට හේතු සොයා බැලිය යුතුයි. ප්රතිලාභ නොලැබෙන සුදු අලි ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඒ නිසා ලබා ගත් ණය මර උගුලේ රට හිර වුණා. 2022 වන විට වාර්ෂිකව බිලියන ගණනාවක් ණය ගෙවීමට සිදුවන බව සැවොම දැන දැනත් 2019 බලයට ආ විගස සුපිරි පොහොසතුන්ට, කෝටිපතියන්ට බිලියන 600-700 ප්‍රමාණයක බදු සහන දී රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 12 සිට සියයට 8ට අඩු කළා.
රණසිංහ ප්‍රේමදාස මහතාගේ කාලයේ පවා ජනතාවට සහන දුන්නා. එදවස රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 22කට ආසන්නයි. එවක ජනතාවට සහන දෙන්න ප්රතිලාභ තිබුණත් අද වන විට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 10ත් 11ත් ප්‍රමාණයට වැටිලා. ක්‍රමානුකූලව ආර්ථිකය හසුරවන විට එයට ජීවය දෙන කොටස්වලට ප්‍රාණය ලබාදීලා, අපනයන කේන්ද්‍රීය ආර්ථික වර්ධනයට යොමු වෙන්න ඕනේ. සෘජු විදේශ ආයෝජන ලබා ගැනීමේ ආයෝජන, හිතකර පරිසරයක් ගොඩනැඟිය යුතුයි.
අපේ රටට ආයෝජක හිතකර පරිසරයක් අවශ්‍යයි. ආයෝජකයෝ අපේ රටට එන්නේ දූෂණය, වංචාව, මුසාව, මුළාව නොමැති වී නිශ්චිත ආර්ථික පරිසරයක් තිබුණහොත් පමණයි. වෙනත් රටවලට ආයෝජකයෝ යනවා වෙනුවට අප රටට ඒමට පරිසරය සකස් කළ යුතුයි.
මේ හරහා තරුණයන්ටත් රැකී රක්ෂා ලබා දිය හැකියි. අප රටට දූෂණය, වංචාව, හොරකම නිසා සම්පත් අහිමි වී තියෙනවා. මේ සම්පත් නැවත රටට ලබා ගෙන මේවාට සම්බන්ධ සියලු දෙනා අධිකරණය හමුවට ගෙනැවිත් ඔවුන් හොරා කෑ අරමුදල් ජනතාව ජීවත් කරවන්නට යොදවනවා.
අප රටේ ජන සමාජයේ නීතිය හරිහැටි ක්‍රියාත්මක වෙන්නෙ නෑ. නීතිය ප්රබලයන්ට, බලවතුන්ට, සුපිරි පොහොසතුන්ට එක් ආකාරයකටත් සාමාන්‍ය ජනතාවට තවත් ආකාරයකටත් ක්‍රියාත්මක වෙනවා. නිවැරැදිව නීතිය ක්‍රියාත්මක යුගයක් ඇති කර ළමා පරපුර, ළදරු පරපුර, සිසු පරපුර හා කාන්තා පරපුරට මහ පාරේ ඕනෑම ආකාරයට යා හැකි ආරක්ෂිත රටක් හා සුරක්ෂිත දේශයක් වගේම ජන සමාජයක් මා ගොඩනඟනවා.”
0 Comments