කාන්තාවට මුල් තැන දෙන, මාසෙට රු. විසිදහස බැගින් දෙමින් මාස 24කින් දුප්පත්කම තුරන් කරන නව වැඩසටහනක් සමගි ජන බලවේග රජයක් යටතේ ක්‍රියාත්මක බව සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සේරුවිලදී පැවසීය. වර්තමාන රජයේත් රට බංකොලොත් කළ නායකයන්ගේත් අමනෝඥ තකතීරු ප්‍රතිපත්ති නිසා දශලක්ෂ ගණනින් ජනතාව දුප්පතුන් බවට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.
ජීවත්වීමේ මාර්ගයක් නොමැති, පැහැදිලි ජීවනෝපායක් ආදායම් මාර්ගයක් නොමැති එදිනෙදා වේල් තුනවත් සපුරා ගත නොහැකි දුප්පත් ජනතාව වෙනුවෙන් ජනසවිය. සමෘද්ධිය, අස්වැසුම හා ගැමිදිරිය වැඩසටහන්වල අඩුපාඩු තුරන් කර හොඳ ගුණාංග එකතු කර දුප්පත්කම තුරන් කිරීමේ නව වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් ඔහු සඳහන් කළේය.
සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පැවසුයේ කන්තලේ සේරුවිල ජන රැලියේදීය.
ආහාර හා ආහාර නොවන අවශ්‍යතා සඳහා, ආයෝජනය, ඉතිරි කිරීම, නිෂ්පාදනය සහ අපනයනය යන කරුණු කේන්ද්‍ර කර දුප්පත්කම තුරන් කිරීමේ නව වැඩසටහනක් හරහා මසකට රු. විසිදහසක ප්රතිපාදනයක් දෙමින් මාස 24කින් දුප්පත්කමින් මුදවන ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් ප්‍රේමදාස මහතා කීවේය. සදාකාලිකව කවුරුත් දුප්පත්කම කියන වහල් භාවයට යට නොවිය යුතු බවත් විවිධ ඛේදවාචකයන් නිසා අමනෝඥ සටකපට අකාර්යක්ෂම රාජ්‍ය ප්‍රතිපත්ති නිසා දුප්පත් වුවත් සදාකාලිකව දුප්පත්කමේ සිට පිං පඩි ගන්නා සමාජයක් බිහි නොවිය යුතු බවත් ඔහු සඳහන් කළේය.
අභිමානවත් ජනතාවක් සිටින රටේ ජනතාව කාගේවත් වහලෙක් සේවකයෙක් නොවී අත නොපා ස්වශක්තියෙන් ස්වෝත්සාහයෙන් නැගී සිටීමට කැමැති ජනතාවක් සිටින නිසා කාලවකවානුවක් අනුව දුප්පත්කම තුරන් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.ගෘහයේ සියලු ක්‍රියාදාම විධිමත්ව හා ශක්තිමත්ව හා විනයවත්ව ක්‍රියාත්මක කරන්නේ ගෘහයේ කාන්තාව නිසා ඇය මූලික කර ගෙන රු. විසිදහසේ සහනය දෙන බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
රටට බරක් ලෙස සලකන දුප්පත් ජනතාව නිෂ්පාදන ගමනේ බාරකරුවන් බවට පත් කරන මෙම වැඩසටහන බොරුවෙන් තොර මහපොළොවේ යථාර්ථයක් බවට පත් කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. බංග්ලාදේශයේ ග්‍රාමීන් බැංකු සංකල්පය තුළින් මෙන්ම ලෝකයේ බොහෝ රටවල් කෙටි කාලයක් තුළ දුප්පත්කමින් මිදී ඇති බවට උදාහරණ ඇති බවත් මේ සඳහා රජයේ සහනාධාරය මෙන්ම අදාළ පුද්ගලයන්ගේ කැපවීමත් අවශ්‍ය බවත් ඔහු පැවසීය.
සමගි ජන බලවේග ආණ්ඩුව හරහා ගුණාත්මකභාවයෙන් ඉහළ කිලෝ 50 පොහොර මිටිය රුපියල් 5000කටත් දරාගත හැකි මුදලකට තෙල් පොහොර ලබා දෙමින් කලු කඩ මාෆියාව නතර කර එම පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ලබා දෙන බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. ගොවියාට ධීවරයාට ත්‍රීරෝදරථ භාවිත කරන්නන්ට පාසල් ප්‍රවාහන සේවයේ නිරතව සිටින අයට ශක්ති වී මෝල් හිමියන්ට ඉන්දන සහනාධාරයක් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, රවුෆ් හකීම්, රිෂාද් බදියුදීන්, නලීන් බණ්ඩාර, රෝහණ බණ්ඩාර, සුජීව සේනසිංහ මහත්වරුන් ඇතුළු පිරිසක් අවස්ථාවට එක්ව සිටියහ.
නිමල කොඩිතුවක්කු
0 Comments