හුණුවටයේ කතාවේ නිර්මාතෘ බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට් ජීවතුන් අතර සිටියේ නම් තම ශ්‍රේෂ්ඨ නිර්මාණය රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලනයට අවභාවිත කරන ආකාරය දැක සියදිවි නසා ගනු ඇතැයි රංගන ශිල්පී මහාචාර්ය සෞම්‍ය ලියනගේ මහතා පැවසීය.
ජනාධිපතිවරයාගේ වැල් පාලම යනු, තනිකර ම දේශපාලනික වශයෙන් උත්ප්‍රේරණයක් ලැබීම සඳහා මහජනයා රැවටීමට යොදාගත් උපහැරණයක් යැයි ද ලංකාව වසර 76ක් තිස්සේම පැමිණියේ එම වැල් පාලමේ පැද්දි පැද්දී යැයි ද ලියනගේ මහතා කීවේ ය.
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට සහාය දක්වා කලාකරුවන් පිරිසක් සංවිධානය කළ මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පළ කළේ, ලංකාවේ ආර්ථිකය එල්ලෙන වැල් පාලමක යන ගමනකට සමාන කරමින් රනිල් වික්‍රමසිංහ මහතා නිතර කතා කිරීම ගැන මාධ්‍යවේදියෙකු කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමිනි.
සංස්කෘතිය හා කලාව යැයි කී විට සංස්කෘතික අමාත්‍යංශය, රඟහල, අනුමණ්ඩල ආදී දේ සිහිවන නමුත් අනුමණ්ඩල ආදී ආයතන යනු එංගලන්තය දෙස බලා 1950 දශකයේ සැකැසූ පැරැණි මාදිලියේ වැඩක් යැයි මහාචාර්යවරයා කීවේ ය.
අනුර කුමාර දිසානායකට සහාය දක්වන්නේ එවැනි මාදිලි දෙස බලාගෙන තනතුරු ලබා ගන්නට පැමිණි පිරිසක් නොවේ යැයි ඔහු අවධාරණය කළේ ය.
කලාවේ උන්නතිය වෙනුවෙන් කළ යුත්තේ එවැනි මාදිලි වෙනස් කිරීම යැයි කී හෙතෙම එළැඹ ඇත්තේ ඒ සඳහා අවස්ථාව යැයි කීවේ ය.
ප්‍රවීණ ලේඛක ජයතිලක කම්මැල්ලවීර, ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධදාස විතානාච්චි, මහාචාර්ය මංගල සේනානායක, රංගන ශිල්පිනී ගම්‍යා විජේදාස, රංගන ශිල්පී කලණ ගුණසේකර, ටෙලිනාට්‍ය අධ්යක්ෂ සරත් සේනාරත්න හා ප්‍රවීණ ලේඛිකා ශාන්ති දිසානායක ඇමැතූ මෙම මාධ්‍ය හමුවට කලාකරුවෝ විශාල පිරිසක් සහභාගී වූහ.
0 Comments