විදෙස් රටක සැඟව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු විසින් තම බිරිඳගේ අනියම් සැමියා ඝාතනය කිරීම සඳහා ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව පැමිණි වෙඩිකරුවන්, එම අනියම් සැමියාගේ හැඩ රුවට සමාන ගොවිතැන් කරමින් ජීවත්වන ගොවි තරුණයකු ඊයේ (16දා) අලුයම ඝාතනය කර පලා ගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.



මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ශ්‍රී පුර, කාවන්තිස්සපුර ප්‍රදේශයේ ගොවිතැන් කරමින් ජීවත්ව සිටි කේ. ඩී. චන්දන මනෝජ් නමැති 26 හැවිරිදි තරුණයෙකි.

ඝාතනය කළ යුතු පුද්ගලයා සහ විදෙස් රටේ සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරු කාලයක සිට මත් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු ගජ මිතුරන් බවද පොලිසිය කියයි.

යතුරුපැදියකින් පැමිණ ඇති නාඳුනන වෙඩික්කරුවන් විසින් මාර්ගයේ වී වේලෙන්නට හැර, රාත්‍රී කාලයේ එම වී තොග සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මාර්ගය අසල රැඳී සිටි පුද්ගලයකුට මෙලෙස වෙඩි තබා ඇති බවත් ඔහු එම ස්ථානයේදීම ඝාතනයට ලක්ව ඇති බවත් පොලිසිය කියයි.

වෙඩික්කරුවන් ඝාතනය කිරීම සඳහා පැමිණි පුද්ගලයාගේ හැඩරුව සහ මෙලෙස ඝාතනයට ලක්ව ඇති පුද්ගලයාගේ හැඩරුව සමාන බවත් වැරදීමකින් මෙම පුද්ගලයාට වෙඩි තබා ඇති බවට සැක කරන බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය. මෙම ඝාතනය ටී 56 අවියකින් සිදු කර ඇති අතර පලාගිය වෙඩික්කරුවන් සොයා විමර්ශන කණ්ඩායම් කිහිපයක් යොදවා වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිසිය පවසයි.

පර්සි කුරුනේරු, මිහින්තලේ – රංග චතූ සහ සමන් මල්ලවආරච්චි