අසූ නවයේ ඉඳලා දේශපාලනයේ හිටපු මම ඔබ හිතනවා ඇති ඇයි මේ පිලට ඇවිල්ලා ඉන්නේ කියලා. මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච දෙයක් තමයි මේ රට ගොඩ ගන්න හැකියාව තියෙන අය එකට එකතු වෙන්න ඕනෑ කියන එක. 2022දී හිටපු රාජ්‍ය ඇමැතිවරියක් හැටියට එකට හිටින්න බැරුව එදා රටේ තිබුණු ආර්ථිකයත් එක්ක අසීමිත බදු මුදල් නිසා ජනතාව දැඩි කලකිරීමකින් සිටියේ. ඒ නිසා මම දේශපාලනයෙන් ඉවත් වෙන්න කියලා තමයි හිතුවේ යැයි හිටපු අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියා සිටියාය.

හිටපු අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය එසේ පැවසුවේ සමගි ජන බලවේගය දිවුලපිටිය ආසන බල මණ්ඩල රැස්වීමේදීය. හිටපු අමාත්‍යවරිය මෙසේද පැවසුවාය.

මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච දෙයක් තමා මේ රට ගොඩනඟන්න පුළුවන් හැකියාව තියෙන අය එකට එකතු වෙන්න ඕනෑ කියන එක. ඒ වගේම විශේෂයෙන්ම මම මේ වෙලාවේ කල්පනා කරනවා 2022දී මම එවකට හිටපු ආණ්ඩුවෙන් ඉවත් වුණු පළමු රාජ්‍ය අමාත්‍යවරිය මමයි කියලා. මම ඒ වෙලාවේ  ඉවත් වුණේ රජයේ ප්‍රතිපත්තිවලට

අපට එකතු වෙන්න බැරි නිසයි. එකට හිටගන්ට මට බැරි වුණා. විශේෂයෙන් ජනතාවට තිබුණු ආර්ථික ප්‍රශ්න වගේම කාබනික ගොවිතැන සඳහා ගත්තු තීරණ නිසා ගොවියන් ඉතාම අසරණ තත්ත්වයකට පත්වුණා පමණක් නොවේ,

ආහාර සුරක්ෂිතතාවට මේ නිසා තදබල පහරක් වුණා. ඒ වගේම එකතු කරගත්තු බදු මුදල් ටික එකතු කිරීම නවතා ගත්තා. එම වැරැදි ප්‍රතිපත්තිවලට එරෙහිව හඬ නඟල අයින් වෙලා විපක්ෂයේ වාඩිවෙලා දේශපාලනයෙන් සමුගන්නවා කියලා තමයි හිතාගෙන හිටියේ.

එහෙම ඉන්නකොට අපි දැක්කා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වුණු විටම එක් එක්කෙනා යනවා. කණ්ඩායම් ලෙස බහුතර යනවා. අපිට ගිහිල්ලා එතැන හිටගන්න බෑ සහෝදරවරුනි. අපි හිටගන්නවා නම් හිටගන්න ඕනේ හොඳ තැනක. හොඳ නායකත්වයක් තියෙන තැනක. හොඳ වැඩපිළිවෙළක් තියෙන තැනක. මම හැමදාම දරපු මතය තමා පවුල් දිනවපු, පුද්ගලයෝ දිනවපු අය සමඟ දැන් හිටියා ඇති. මට ඕනෑ වුණේ වැඩපිළිවෙළක් දිනවන්න කියන එකයි, එහෙම හොඳ වැඩපිළිවෙළක් තියෙන්නෙ සජිත් ප්‍රේමදාස මැතිතුමා ළඟ පමණයි.