suriyawewa-incident

පන්ති කාම­රය පිරි­සිදු නොක­ළැයි විදු­හ­ල්ප­ති­ව­රයා විසින් 12 හැවි­රිදි සිසු­ව­කුට කළ පහර දීම­කින් සිසු­වාගේ ගෙලෙහි අස්ථි දෙක­කට හානි සිදු වී මාස තුනක් තිස්සේ ප්‍රති­කාර ලබ­මින් සිටින පුව­තක් මිද්දෙ­ණියේ පාස­ල­කින් වාර්තා වේ. මෙලෙස විදු­හ­ල්ප­ති­ව­ර­යාගේ පහර කෑමට ලක්ව අසාධ්‍ය තත්ත්ව­යට පත්ව කරා­පි­ටිය ශික්ෂණ රෝහ­ලට ඇතු­ළත් කර නේවා­සික ප්‍රති­කාර ගෙන ඇත්තේ දෙබො­ක්කාව මහා විද්‍යා­ලයේ 7 වන ශ්‍රේණියේ ඉගෙ­නුම ලබන සිසු­වෙකි. සිද්ධි­යට මුහුණ දුන් පාසල් සිසුවා ඒ සම්බ­න්ධ­යෙන් අපට මෙසේ පැව­සීය:

“මම හතේ පන්තියෙ ඉගෙ­න­ගන්නෙ. අපේ පන්තියෙ නාය­කයා මම. පහු­ගිය මැයි දෙවැ­නිදා අපට පළ­මු­වෙනි පීරි­යඩ් එකේ ආගම තිබුණෙ. ටීචර් ඇවිත් පන්තියේ ආගම උග­න්ව­මින් ඉන්න කොට ප්‍රින්සි­පල් සර් පන්තියේ දොර­ක­ඩට ඇවිත් 'මේ පන්තිය අතු­ගාල නෑනේ. කෝ පන්ති නාය­කයො?' කියලා ඇහුවා. මමයි, පන්ති නායි­කා­වයි නැඟිට්ටා. ප්‍රින්සි­පල් සර් මට කතා කරලා අර­ගෙන, 'තමුන් පන්ති නාය­කයානේ. තමුන් මේවා පිරි­සිදු කර­වන්න ඕනි නේ!' කියලා මගේ කනෙන් අල්ල­ගෙන පන්ති කාම­ර­යෙන් එළි­යට අර­ගෙන ඇවිත් අත මිට මොළ­වලා මගේ බෙල්ලට හයි­යෙන් දෙකක් ගැහුව. මට ඒ වෙලාවෙ හරි­යට රිදුණා. ඊට පස්සෙ ප්‍රින්සි­පල් සර් මට කියලා ඒ වෙලාවෙ අපේ පන්තිය සම්පූ­ර්ණ­යෙන්ම අතු­ගෑ­වෙව්වා. පන්ති නායි­කා­වට කිසිම දෙයක් කීවෙ නෑ. ඊට පස්සෙ මම වේද­නාව ඉව­සා­ගෙන පන්තියෙ අමා­රු­වෙන් ඉඳලා, ඉස්කොලෙ ඇරු­ණාම අම්මත් එක්ක ගෙදර යන ගමන් කීවා 'අම්මේ... මට ප්‍රින්සි­පල් සර් බෙල්ලට ගැහුවා, හරිම අමා­රුයි, ඉන්න බෑ...' කියලා.”

දරු­වාගේ මව වන අබේ­සිංහ ගමා­ච්චිගේ ලලනි චම්පිකා සිද්ධිය විස්තර කළේ මෙලෙ­සිනි:

“පන්තිය අතු­ගාලා නෑ කියලා විදු­හ­ල්ප­ති­ව­රයා මගේ දරු­වගේ බෙල්ලට අත මිට මොළ­වලා ගහලා. දරුවා වේද­නාව උහු­ලා­ගන්න බැරිව මට කිව්වා. මම ගෙදර එක්ක ගිහින් බෙල්ලේ තෙල් ටිකක් ගෑවා. රෑ වෙන කොට බෙල්ල හොඳ­ටම ඉදි­මිලා. පහු­ව­දාම මම පාස­ලට ගිහින් මේ ගැන විදු­හ­ල්ප­ති­ගෙන් ඇහුවා. එත­කොට විදු­හ­ල්පති මට ඉතා­මත් පහත් ලෙස බැණලා එළ­ව­ගත්තා. දරු­වගේ බෙල්ල හොඳ නැති නිසා මම දරුවා ගෝණ­දෙ­ණිය රෝහ­ලට එක්ක­ගෙන ගිහින් බෙහෙත් අරන් දුන්නා. ඒත් අමා­රුවෙ කිසි අඩු­වක් නෑ. දවස ගානේ අමා­රුව වැඩි වුණ නිසා යළිත් ගෝණ­දෙ­ණිය රෝහ­ලට දරුවා අරන් ගියාම එහි වෛද්‍ය­වරු දරුවා රෝහලේ නව­ත්තලා වැඩි­දුර ප්‍රති­කාර සඳහා ඇඹි­ලි­පි­ටිය මූලික රෝහ­ලට දරුවා මාරු කරලා යැව්වා. ඇඹි­ලි­පි­ටිය රෝහලේ වෛද්‍ය­ව­රයා දරුවා බලලා, 'දරු­වට අමා­රු­වක් නෑ, බොරු­වට ඉස්පි­රි­තාලේ ඉන්න ඕනැ නෑ' කියා දරු­වගේ ටිකට් කැපුවා. ඒ වෙන කොටත් දරු­වාට අමා­රුයි. බැරිම තැන මම කරා­පි­ටිය රෝහලේ වෛද්‍ය­ව­ර­යකු හමුවෙලා දරුවා පරීක්ෂා කෙරෙ­ව්වා. කරා­පි­ටිය රෝහලේ වෛද්‍ය­ව­රයා දරුවා පරීක්ෂා කරලා දරු­වගේ බෙල්ලේ අස්ථි දෙකක් ඇදී ඇති බව කිව්වා. මේක අව­දා­නම් තත්ත්ව­යක් බවත් ඔහු පැව­සුවා. ඒ අනුව දරුවා කරා­පි­ටිය රෝහ­ලට ඇතු­ළත් කරලා ප්‍රති­කාර කළා. එහිදී දරු­වගේ බෙල්ලට කොල­ර­යක් දමා, ඔළුවේ වැලි කොට්ට­යක් එල්ලා තබා තිබුණා. දැන් මේ වෙන කොට දරුවා මාස 3ක් තිස්සේ නිවෙසේ ප්‍රති­කාර ගනි­මින් ඉන්නවා.”

තම දරු­වාට වූ අසා­ධා­ර­ණ­යට යුක්තිය ඉටු කර­ගැ­නීම සම්බ­න්ධ­යෙන් ගත් පිය­වර සහ එහිදී ලත් අත්දැ­කීම් මව මෙලෙස අප හා වැඩිදුර­ටත් විස්තර කළාය:

“මගේ දරු­වාට විදු­හ­ල්ප­ති­ව­රයා කළ මේ අමා­නු­ෂික පහරදීම සම්බ­න්ධ­යෙන් මම මිද්දෙ­ණිය පොලි­සියට පැමි­ණලි කළා. දරුවා මෙච්චර අසාධ්‍ය තත්ත්වයේ සිටි­ද්දිත් මිද්දෙ­ණිය පොලි­සිය මේක සුළු සිදු­වී­මක් කියා පැමි­ණිල්ල සමථ මණ්ඩ­ල­යට යොමු කළා. දරුවා ඇඹි­ලි­පිටි මූලික රෝහ­ලට ඇතු­ළත් කළාම රෝහලේ කිහිපදෙනකු හා අධි­ක­රණ වෛද්‍ය­ව­රයා 'මේක ප්‍රින්සි­පල් අමා­රුවේ දමන්න කරන වැඩක්, මේ ළම­යට කිසි ලෙඩක් නෑ' කියා ටිකට් කැපුවා. පසුව මේ සම්බ­න්ධ­යෙන් මම තංගල්ල කලාප අධ්‍යා­පන කාර්යා­ල­යට වගේම කොළඹ ගිහින් කොළඹ ළමා ආර­ක්ෂණ අධි­කා­රි­යට සහ ළමා හා කාන්තා කාර්යාං­ශ­යට, පොලි­ස්ප­තිට හා මානව හිමි­කම් කොමි­සම වෙත පැමි­ණිලි කළා. ඒත් මේ වෙනකන් මගේ දරු­වට කිසිම සාධා­ර­ණ­යක් ඉටු වුණේ නෑ. මානව හිමි­කම් කාර්යා­ල­යෙන් මීට දින තුන­කට කලින් ඇවිත් ප්‍රකා­ශ­යක් ලියා­ගෙන ගියා විත­රයි. අපි වගේ අස­රණ අයට දෙයක් වුණාම කියන්න කෙනෙක් නෑ. මේ සම්බන්ධ සියලු පරී­ක්ෂණ අත­ර­මග නැව­තිලා. මේ වෙන කොට මම හම්බ­න්තොට මානව හිමි­කම් ප්‍රථ­මා­ධාර මධ්‍ය­ස්ථා­න­යට මේ අව­න­ඩුව ලිඛි­තව දැනුම් දුන්නා. මගේ දරු­වට වුණ දේ හෙට වෙනත් දරු­ව­කුට නොවිය යුතුයි.”

මේ දරු­වාට සිදු වූ අසා­ධා­ර­ණය සම්බ­න්ධ­යෙන් නීති සහාය ඉල්ලා දරු­වාගේ මව විසින් හම්බ­න්තොට මානව හිමි­කම් ප්‍රථ­මා­ධාර මධ්‍ය­ස්ථා­නය වෙත ලිඛිත පැමි­ණි­ල්ලක් සිදු කළ බව එහි සම්බ­න්ධී­කා­රක තරංග එල්. පට­බැඳි මහතා දින­මි­ණට පැවසූ අතර, දෙබො­ක්කාව විද්‍යා­ලයේ විදු­හ­ල්ප­ති­ව­රයා සහ ඇඹි­ලි­පි­ටිය රෝහලේ බල­ධා­රීන් වෙතින් මේ සම්බ­න්ධ­යෙන් ප්‍රකාශ ගැනී­මට අප උත්සාහ ගත්තද දුර­ක­ත­න­ව­ලට ප්‍රති­චාර නොදැ­ක්වීම හේතු­වෙන් එය අසා­ර්ථක විය.
(නුවන් ජය­සේ­කර)