tharushi-speaks

"පැරිස් ඔලිම්පික් නිර්දේශ වුණු දවසේ මම හොඳටම සතුටු වුණා. නමුත් ඔලිම්පික් පදක්කමක් ගැන මට හිතන්න වෙන්නේ දෙවනුවයි. පැරිස්වලදී මගේ පළමු අරමුණ ඉසව්වේ වේගය හදා ගන්නයි දෙවනුව ඉසව්වේ දෙවැනි වටයට එන්න බලාපොරොත්තු වෙනවා. අපි පදක්කමක් ගැන ලබන පාර ලොස් ඇන්ජලීස් (2028) ඔලිම්පික් උලෙළේදී හිතමු." ශ්‍රී ලංකා මැදි දුර ධාවන ශූරී තරුෂි දිල්සරා කරුණාරත්න පැරිස් නුවර පෙර පුහුණුවීම් අතරතුරදී පැවසුවාය.තරුෂි එසේ අදහස් දැක්වූයේ, පැරිස් ඔලිම්පික් උලෙළේ අද (01දා) ආරම්භ වන මලල ක්‍රීඩා තරගාවලියේ හෙට (02දා) ඇය තරග වදින මීටර් 800 (කාන්තා) ඉසව්වේ සහභාගිත්වය පිළිබඳව අදහස් දක්වමිනි.


ලොව පුරා රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1810දෙනෙකුගේ සහභාගිත්වයෙන් අගෝස්තු 11වැනිදා දක්වා පැරිස් ඔලිම්පික් මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්වේ. එහිදී රත්, රිදී හා ලෝකඩ පදක්කම් 48 ක් බැගින්කාන්තා හා පිරිමි ඉසව්හි තෙවැනි ස්ථානය දක්වා පිරිනැමෙති.හෙට (02දා) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.15 ට (ප්‍රංශ වේලාවෙන් රාත්‍රී 7.45) තරුෂි මිටර් 800 (කාන්තා) ඉසව්වේ මූලික වටයට සහභාගි වීමට නියමිතය.

ඒ සඳහා ඇය වඩාත් පෙර සූදානමකින් පසු වන බව ඇගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතා පැරිස් නුවරදී ඊයේ පැවසීය.


තරුෂි පැරිස් ඔලිම්පික් නිර්දේශ ලබා ගත්තේ මීටර් 800 (කාන්තා) ඉසව්වේ ශ්‍රේණිගත ලකුණු ක්‍රමයෙනි. ඒ සඳහා තරග වැදීමෙන් කෙළින්ම නිර්දේශ ලබා ගත් ක්‍රීඩිකාවන් ගණන 33කි. සෙසු ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ශ්‍රේණිගත ලකුණු හා පංගු ක්‍රමයෙන් පැරිස් ඔලිම්පික් නිර්දේශ ලබා තිබේ.මෙම 21 හැවිරිදි ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව කෙරෙහි වඩාත්ම අවධානය යොමුවී ඇත්තේ ඇය මේ වනවිට ආසියානු ශූරතා හා ආසියානු ක්‍රීඩා ඉසව්වේ රන් පදක්කම්ලාභීණිය ලෙස පැරිස් ඔලිම්පික් තරග වැදීමයි.


මෙහි ඇගේ මෙතෙක් හොඳම දක්ෂතාවය විනාඩි 2 තත්පර 00.66 කි. මෙය 2023 බැංකොක් ආසියානු ශූරතා ඉසව්වේ තරග වාර්තාවද වේ.මේ අතර මෙම ක්‍රිඩිකාව පැරිස් ඔලිම්පික් සහභාගිත්වයෙන් පසුව වැඩිදුර අධ්‍යාපන හා පුහුණු කටයුතු හැදෑරීම සදහා ඇමෙරිකාව බලා පිටත්ව යාමට සැලසුම් කර ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ. කෙසේ වුවත් ඒ සඳහා මෙතෙක් දින නියම කරගැනීමක් සිදු කර නැතැයි පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතා පවසයි.


තරුෂි ආසියානු ශූරතා තරග වාර්තාව පිහිටුවමින් රන් පදක්කම පසුගිය වසරේදී දිනා ගන්නා විට වලල ඒ රත්නායක මධ්‍ය මහ විදුහලේ ඉගෙනුම ලබමින් සිටි පාසල් ශිෂ්‍යාවක් වීම කැපී පෙනුණි.තරුෂි වසරක කාලයක් තුළදී ආසියානු ශූරතා, ආසියානු ක්‍රීඩා, ආසියානු කනිෂ්ඨ යන ජාත්‍යන්තර තරගාවලි තුනකදී මීටර් 800 හා 400 (කාන්තා), මීටර් 400 (කාන්තා) හා එහි මිශ්‍ර සහාය දිවීම යන ඉසව් වෙතින් රන්පදක්කම් හතරක් රිදී පදක්කම් තුනක් හා ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත් වීමෙන් පසුගිය කාලය පුරා ජාත්‍යන්තරව ඉහළම අවධානයක් දිනාගැනීමට සමත් වූවාය.




පැරිස් ඔලිම්පික් නිර්දේශ ලබන විට ඇය ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 44 වැනි ස්ථානයේ පසුවූවාය.මීට පෙර ඔලිම්පික් මලල ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන්දෙදෙනෙකු මිටර් 800 (කාන්තා) ඉසව්වේ තරග වැදී තිබේ. ඒ අතරින් 1992 බාසිලෝනා ඔලිම්පික් උළෙලේදී ධම්මිකා මැණිකේ මූලික වටයේදී විනාඩි 2 තත්පර 03.85 ක දක්ෂතාවක්ද හා ගියවර ටෝකියෝ (2020) ඔලිම්පික් උළෙලේදී නිමාලි ලියනආරච්චි විනාඩි 2 තත්පර 10.23 ක දක්ෂතාවක්ද දක්වා තිබේ.


පැරිස් ඔලිම්පික් මලල ක්‍රීඩා තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා මීටර් 400 ක්‍රීඩක අරුණ දර්ශන හා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ පිළිවෙලින් අගෝස්තු 04 හා 07 යන දිනවලදී සිය ඉසව්හි මූලික තරග සඳහා සහභාගිවීමට නියමිතය.තරුෂි සහභාගි වන මීටර් 800, (කාන්තා) ඉසව්වේ අවසන් වටය අනිද්දා (03දා) පැවැත්වේ.මේ අතර ලෝක මලල ක්‍රීඩා ආයතනය නිවේදනය කර ඇත්තේ, මලල ක්‍රීඩා රත්, රිදී හා ලෝකඩ පදක්කම්ලාභීන්ට ඔලිම්පික් ඉතිහාසයේ පළමු වතාවට ඩොලර් 50,000 සිට මුදල් තෑගි ප්‍රදානය කරන බවයි. කෙසේ වූවත් පැරිස් ඔලිම්පික් සඳහා සහභාගිවී සිටින රටවල් 206 කින් 33 ක් මේ දක්වා සියලු ක්‍රීඩා ඉසව් පදක්කම්ලාභීන්ට මුදල් තෑගි ප්‍රදානය කරන බව නිවේදනය කර තිබේ. එහිදී ඇමෙරිකාව රත් පදක්කම්ලාභීයෙකුට ඩොලර් 37,000ක් ප්‍රදානය කරන අතර, සිංගප්පූරුව නිවේදනය කර ඇත්තේ, සිය රටේ පැරිස් ඔලිම්පික් රන්පදක්කම්ලාභීයෙකුට සිංගප්පූරු ඩොලර් මිලියනයක් ප්‍රදානය කරන බවයි.

නාමල් පතිරගේ ප්‍රංශයේ පැරිස් නුවර සිට