two-policemen-arrested

අත්තනගල්ල ඌරාපොළ ප්‍රදේශයේ රාත්‍රී පොලිස් මාර්ග බාධකයේ ඊයේ (27) අලුයම් කාලයේ මත්පැන් පානය කර සේවයේ යෙදී සිට ඇති බව පැවැසෙන සැරයන්වරුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව, ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ, නිට්ටඹුව මූලස්ථාන පොලිසියට හා ගණේමුල්ල පොලිසියට අනුයුක්තව සේවයේ නියුතු සැරයන්වරුන් දෙදෙනකු බව ද පොලිසිය කියයි.






මෙම සැරයන්වරුන් දෙදෙනා සහ නොස්තාපල්වරයකු පොලිස් මාර්ග බාධකයේ රාත්‍රී සේවයේ යෙදී සිට ඇති ඇති අතර, අත්තනගල්ල ඌරාපොළ මෙම පොලිස් මාර්ග බාධකය හරහා ඊයේ (27) අලුයම් කාලයේ ගමන් කිරීමට පැමිණ ඇති ලොරි රථයක් මාර්ග බාධකයේදී නවතා පරීක්ෂා කිරීමේදී ලොරි රථයේ රියැදුරු සහ පොලිසියේ තිදෙනා අතර වචන හුවමාරුවක් සිදු වී ඇති බව පැවැසෙයි. මාර්ග බාධකයේ සේවයේ යෙදී සිටින පොලිසියේ තිදෙනාගෙන් දෙදෙනකු මත්පැන් පානය කර සිටින බවට ලොරි රථයේ රියැදුරුට හැඟී යෑම නිසා, ඔහු ඒ පිළිබඳව දුරකතන අංක 118 ඔස්සේ ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දී ඇත.


ආරක්ෂක අමාත්‍යාංශයේ අදාළ කාර්ය භාර නිලධාරි, මෙම පැමිණිල්ල ලැබී කෙටි වේලාවක් තුළ මේ පිළිබඳව ගම්පහ දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි (I) නාලක සේනානායක මහතාට කරන ලද දැනුම්දීමකට අනුව,

මේ පිළිබඳව වහාම සොයා බලන ලෙස නාලක සේනානායක මහතා අත්තනගල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යශේන්ද්‍ර නාලක මහතාට නියෝග කර ඇත.

එම දැනුම්දීමට අනුව ඊයේ (27) අලුයම 5.30ට පමණ අත්තනගල්ල පොලිසියේ ස්ථානාධිපති යගේන්ද්‍ර නාලක මහතා පොලිස් මාර්ග බාධකයට ගොස්, එහි සේවයේ යෙදී සිටි පොලිසියේ තිදෙනා පරීක්ෂා කර, සැරයන්වරුන් දෙදෙනා පොලිස් මාර්ග බාධකයේ සේවයෙන් ඉවත් කර, දෙදෙනා වතුපිටිවල මූලික රෝහලේ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර ඇත. පොලිස් සැරයන්වරුන් දෙදෙනාගේම මුඛ වලින් මත්පැන් ගඳ වහනය වන බවට, දෙදෙනා පරීක්ෂා කළ වෛද්‍යවරයා සිය වෛද්‍ය වාර්තාවෙන් දක්වා ඇති බව පොලිසිය පවසයි.