vat0refund-system-katunayake-removed

 විදෙස් සංචාරකයන් මෙරටදී භාණ්ඩ මිලදී ගැනීමේදී අය කෙරෙන වැට් බද්ද නැවත ඔවුන්ට ගෙවීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් කටුනායක ගුවන් තොටුපොළේ ස්ථාපිත කරන ලද කවුළු පරිශ්‍රය වහා ඉවත් කිරීමට ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා ෙපෟද්ගලික සමාගම තීරණය කර ඇත. ඊට හේතුව එය කලක සිට වසා තැබීම බවද එම සමාගම සඳහන් කරයි.



විදෙස් සංචාරකයකු යම් රටක සංචාරයේ නිරත වන අවස්ථාවේදී මිලදී ගන්නා භාණ්ඩ සඳහා අය කෙරෙන බදු එම සංචාරකයා සිය රට බලා පිටව යෑමට පෙර ගුවන් තොටුපොළේදී නැවත ගෙවීම බොහෝ රටවලදී ක්‍රියාත්මක කෙරෙන ක්‍රමවේදයකි.



මෙම වැඩපිළිවෙළ ශ්‍රී ලංකාව තුළද ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයේ සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබූ අතර, ඒ අනුව කටුනායක ගුවන් තොටුපොළේදී අදාළ කවුළුවක් විවෘත කෙරිණි.

එනමුත් බදු ආපසු ගෙවීමේ ක්‍රියාවලිය යෝග්‍ය නොවන බවට මුදල් අමාත්‍යාංශය විසින් පසුව තීරණය කිරීම සහ අදාළ කවුළුව සඳහා යෙදවීමට නිලධාරීන් හිඟයක් පවතින බවට පවසමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එම කවුළුව පසුගිය කාලයේදී වසා දමා තිබිණි.



මෙම තත්ත්වය මත අදාළ කවුළුව සහිත පරිශ්‍රය වහාම ඉවත් කිරීමට ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා ‌​ෙපෟද්ගලික සමාගම තීරණය කර ඇතැයි එම සමාගම විසින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරියට ලිපියකින් දැනුම් දී ඇත.

තවද මෙම කවුළුව සහිත පරිශ්‍රයේ තිබෙන භාණ්ඩ ඉවත් කර නොගතහොත් එම දේපොළ බැහැර කර, ඒවා විකිණීමෙන් පසු ඉවත් කිරීමේ පිරිවැය අයකිරීමට සිදුවන බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
(සාලිය කුමාර ගුණසේකර)