ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට අදාළ මතභේදාත්මක නව විද්‍යුත් වීසා යාන්ත්‍රණයට අදාළව අගෝස්තු 2 දා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු නියෝගයෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන අයට වීසා ලබාදීමේ ක්‍රමය තවම නිසිආකාරයෙන් සිදු නොවන බව වාර්තාවේ.ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා දැනට ඇති එකම විකල්පය වන්නේ පැමිණීමේදී සංචාරක වීසා සහ ව්‍යාපාරික වීසා අයදුම්කර ලබාගැනීමය.

ඔන්ලයින් ක්‍රම කිසිවක් ක්‍රියාත්මක නොවේ.
උසාවි නියෝගය අනුව  IVS Global, VFS VF Worldwide හා GBS Technology යන  ත්‍රෛපාර්ශ්වික විදේශ සමාගම් වෙත රජය දුන් අවසරය අත්හිටුවා ඇති නමුත් දෙපාර්තමේන්තුව
SLTMmobitel ඔස්සේ පෙර පැවති විද්‍යුත් ගමන් බලපත්‍ර (ETA) ක්‍රමයට ආපසු යාමට අපොහොසත් වී ඇත්තේ තාක්ෂණ නොගැළපීමක් මතය.
SLTMmobitel වෙත නැවත හුවමාරුවේදී පද්ධති සඳහා ප්‍රවේශය ලබා දෙන ලෙස පාලක ජනරාල් විසින් Informatics වෙත උපදෙස් දී ඇති නමුත් Informatics විසින් VFS පද්ධතිය සඳහා සකස්කළ නව සබැඳි නොගැලපෙන බව දන්වා ඇත.
අප්‍රේල් මාසය දක්වා SLTMmobitel සමඟ ඒකාබද්ධ වීමට භාවිතා කළ පෙර XML ආකාරයේ සබැඳි නැවත සක්‍රිය කිරීමට ආගමන විගමන තොරතුරු තාක්ෂණ වෙත උපදෙස් දී ඇතත් ටික කලක් එයට ගතවේ.
මේ නිසා ඔන්ලයින් වීසා නිකුත් කිරීම අඩාල වී ඇති අතර ඔන්ලයින් වීසා නිකුත් කිරීමේ තාක්ෂණික ගැටලු විසඳන තුරු මැනුවල් ක්‍රම පමණක් සක්‍රීය කර ඇත.