ජනතා විමුක්ති පෙරමුණ බලයට ආ විට පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් වනවා යැයි පවසන බවත් එසේ වුව හොත් නැවත වරක් පෝලිම් යුගයකට යෑමට සිදු වන බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී ඉකුත්දා (27) පැවති ගාල්ල දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් හා පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා:
ජනාධිපති මැතිවරණය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් වී තිබෙනවා. ඔබට ගැටලුව ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමගනම් ඔබට පුළුවන් ඊළඟ මැතිවරණයෙන් ඒ අය ගෙදර යවන්න. එහෙත් රනිල් ගෙදර යවන්න එපා. රනිල් ගෙදර යැවුවොත් රටට හම්බ වෙනවා විශාල දඬුවමක්. බොහෝ අය කියනවනේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා පින් ජනාධිපති කෙනෙක් කියලා. එහෙම ෆේස්බුක් එකේ කමෙන්ට් කරන අය හිතාගෙන ඉන්නේ පින් කියන වචනය නරක වචනයක් කියලා. රනිල් වික්‍රමසිංහ කියන්නේ පිනට පහළ වූ ජනාධිපති කෙනෙක් තමයි. එතුමාගේ පින නිසා තමයි අද අපේ රට මේ විදිහට හුස්ම ගන්නේ. බලන්න අද බංග්ලාදේශය දිහා. ඔවුන්ට මොකද වුණේ? අද රට සම්පූර්ණයෙන්ම ඉවරයි. අපේ රටත් මෙවැනි තත්ත්වයකට ගමන් කරමිනුයි තිබුණේ. ඒත් අපේ රටේ වාසනාවට එහෙමත් නැති නම් අපේ පිනට අපට හිටියා රටක් බේරගන්න පුළුවන් ජාතික නායකයෙක්. එතුමා මේ රට බංග්ලාදේශයේ තත්ත්වයට පත් වෙන්න ඉඩහැරියේ නැහැ.
‟ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ වැටුණ රට ගොඩ ගන්න ගත් ක්‍රියාමාර්ග වෙනස් කරන්න බැහැ. මොකද සමහර අය දැන් කියනව නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ගෙනයන වැඩසටහන වෙනස් කරනවා කියලා. ඒ කියන්නේ නැවත වරක් රටේ ඉන්ධන පෝලිම් ඇති වෙනවා; නැවත වරක් රටේ ගෑස් පෝලිම් ඇති වෙනවා. නැවත වරක් රටේ කිරි පිටි පෝලිම් ඇති වෙනවා. ඒ නිසා මෙවර ජනාධිපතිවරණයේදී රටේ මහජනතාව හරි කල්පනාවෙන් තම ඡන්දය දිය යුතුව තිබෙනවා. මේ ජනාධිපතිවරණයෙන් තෝරන්නේ ආගමට නායකයෙක් නොවෙයි, සංස්කෘතියට නායකයෙක් නොවෙයි, එහෙමත් නැති නම් කුලයට නායකයෙක් නොවයි. මෙය අපේ රටට ජාතික නායකයෙක් තෝරාගත යුතු මැතිවරණයක් බව ඔබ මතක තබා ගත යුතුයි.
‟ඒ නිසා මෙය තීරණාත්මක මැතිවරණයක්. විපක්ෂයේ අය කියනවා මේක දෙන්නම් අරක දෙන්නම් කියලා. එහෙම කිවුවට දෙන පාරක්, විදිහක් ඔවුන් කියන්නේ නැහැ. තව දුරටත් මේ රටේ ජනතාව එහෙම රවට්ටන්න බැහැ. ඒවට අවශ්‍ය කරන නීති රීති අණපනත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන තිබෙනවා. ඒ නිසා ඔබ මේ මැතිවරණයේදී ඔබේ ඡන්දය ඉතා කල්පනාවෙන් භාවිත කළ යුතුව තිබෙනවා.
ඔබ කල්පනාවෙන් ක්‍රියා නොකළොත් නැති වන්නේ ඔබේ දරුවන්ටගේ අනාගතය. ඔබට ඔබේ දරුවන්ට අනාගතයක් අවශ්‍ය නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඔබේ වටිනා ඡන්දය භාවිත කරන්න කියා මා ඉල්ලා සිටිනවා."
(නෙත්මි පූජනී රත්නායක)
0 Comments