welikada-jailer-prisoned

වැලිකඩ බන්ධනාගාරය තුළ හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ බන්ධනාගාර නියාමකවරයකුට බරපතළ වැඩ සහිත වසර 6ක සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා,රුපියල් 50,000ක දඩයක් ද නියම කළේය.මීට වසර 9කට පෙර විත්තිකරු මෙම අපරාධය කළ බව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් විත්තිකරුට අදාළ දඬුවම් නියම කළ විනිසුරුවරයා, වසර 6ක සිර දඬුවම් කාලය වසර 3ක කාලයකින් ගෙවී යන අන්දමින් ක්‍රියාත්මක කිරීමට නියම කළේය.මෙලෙස දඬුවම් නියම වූයේ, ආධුනික බන්ධනාගාර නියාමකවරයකු  වූ ශන්මුගරාජා සනුශාන් නමැත්තාටය.





2015 නොවැම්බර් 26 වැනිදා හෝ ඊට ආසන්න දිනයක වැලිකඩ බන්ධනාගාරය අසලදී හෙරොයින් ග්‍රෑම් 1.383ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නගා තිබිණි. විත්තිකරු 2015 නොවැම්බර් 26 වැනිදා වැලිකඩ බන්ධනාගාරයේ සේවය කරමින් සිටියදී, ත්‍රිරෝද රථයකින් බන්ධනාගාරය අසලට පැමිණි පුද්ගලයකු විත්තිකරුට යමක් දෙන අයුරු දුටු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ඔහු පරීක්ෂා කිරීමේදී, ඔහුගේ සාක්කුවක සඟවා ගෙන සිටි මත්ද්‍රව්‍ය සොයා ගෙන තිබූ බව හෙළි විය.


නඩු විභාගය අවසානයේදී විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරනු ලැබ ඇතැයි තීරණය කළ විනිසුරුවරයා මෙම දඬුවම් පැනවීය.පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ ලිෂාන් රත්නායක මහතා පෙනී සිටියේය.

මනෝප්‍රිය ගුණසේකර