වාහල්කඩ පොලිස් බල ප්‍රදේශයට අයත් වැලි වැව ප්‍රදේශයේදී ඉකුත්දා (16) රාත්‍රී නවයට පමණ ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් මී ගවයකුගේ ගැටීමෙන් යතුරු පැදිකරු මියගොස් ඇති බව වාහල්කඩ පොලිසිය පවසයි.මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ කහටගොල්ලෑව, කැබිතිගොල්ලෑව ලිපිනයේ පදිංචිව සිටි විපුල සේනගේ නිමේෂ් රුක්ෂාන් රත්සර නමැති 23 හැවිරිදි තරුණ විවාහකයෙකි.අනතුර සිදුවූ අවස්ථාවේදී අසල්වාසීන් එක්ව තුවාලකරු වවුනියාව මහ රෝහලට ඇතුළත් කළ අතර, එහිදී ඔහු මියගිය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
පදවිය නගරයේ සිට කහටගොල්ලෑව තම නිවස කරා පැමිණෙමින් සිටියදී, වැලි වැව ප්‍රදේශයේදී පාර හරහා පනින ලද මී ගවයෙකුගේ යතුරුපැදිය ගැටී ඇති බවත්, මී ගවයා එම ස්ථානයේම මියගොස් සිටි බවත්, වාහල්කඩ පොලිසිය සඳහන් කරයි.අනතුරෙන් මියගිය නිමේෂ් රුක්ෂාන් රත්සරගේ බිරිඳ ගැබිනියකව සිටින බවත්, අනතුරෙන් මියගිය මී ගව දෙන ද ගැබිනියක බව වාහල්කඩ පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
පදවිය සහ කහටගොල්ලෑව අතර ප්‍රධාන මාර්ගයේ එළ ගවයන් සහ මී ගවයන් රාත්‍රී කාලයේ දී නිරන්තරව අයාලේ සැරි සරන බවත්, එබැවින්, ඔවුන් අයිති ගව හිමියන් කඩිනමින් දැනුවත් කර, අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව වාහල්කඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඒ.ඒ. සම්පත් මහතා පැවසීය.අනතුරෙන් මියගිය පැදිකරුගේ මෘත දේහය මේ වන විට වවුනියාව මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, වාහල්කඩ පොලිසිය මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකරයි.
හේමන්ත රණසූරිය
0 Comments