AstraZeneca-china

චීන පොලිසිය විසින් දත්ත පෞද්ගලිකත්වය සහ බලපත්‍ර නොමැති ඖෂධ ආනයනය කිරීම සම්බන්ධ චෝදනාවට ලක්වූ AstraZeneca නම් බ්‍රිතාන්‍ය සමාගමේ වත්මන් සහ හිටපු සේවකයින් පස්දෙනෙකු රඳවා ගෙන ඇති බව වාර්තා වේ.

Bloomberg වාර්තා කරන පරිදි, මෙම රඳවා ගැනීම් AstraZeneca  ඖෂධ සමාගමේ පිළිකා අංශය වෙනුවෙන් පිළිකා ඖෂධ අලෙවි කළ චීන පුරවැසියන් ඉලක්ක කර ගෙන තිබේ.



අක්මා පිළිකා ප්‍රතිකාර සඳහා යොදා ගන්නා නමුත් චීන ප්‍රධාන භූමියේ බෙදාහැරීම සඳහා අනුමැතිය ලබා නොගත් ඖෂධයක් ආනයනය කිරීමට AstraZeneca සේවකයින් සම්බන්ධ වූයේද යන්න පිළිබඳව පොලිසිය විමර්ශනය කරයි.

ෂෙන්ෂෙන් කලාපයේ පොලිසිය විසින් මෙහෙයවනු ලබන මෙම පරීක්ෂණය සමාගම රෝගී දත්ත රැස් කළ ආකාරයද පරීක්ෂා කරන අතර, එය චීනයේ පෞද්ගලිකත්ව නීති උල්ලංඝනය කර ඇත්දැයි සොයා බලයි.



AstraZeneca සමාගම ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ: "චීනයේ සිටින අපගේ සේවකයින් කිහිප දෙනෙකු පරීක්ෂණයට ලක්ව සිටින බව අපි දන්නා අතර මේ අවස්ථාවේ දී අපට වැඩිදුර තොරතුරු බෙදා ගැනීමට නොහැක." යනුවෙනි.

AstraZeneca සතුව චීනයේ සේවකයින් 16,000ක් පමණ සිටින අතර, එය සමාගමේ ආදායමෙන් 13% ක් හෙවත් මුළු ආදායම වන ඩොලර් බිලියන 44 (බ්‍රිතාන්‍ය පවුම් බිලියන 33) න් ඩොලර් බිලියන 6ක් පමණ වේ. මෙම පරිමාණය AstraZeneca, විකුණුම් අතින් චීනයේ විශාලතම විදෙස් ඖෂධ නිෂ්පාදකයා බවට පත් කර තිබේ. වසංගත සමයේදී ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සමඟ එක්ව සංවර්ධනය කරන ලද එහි Covid-19 එන්නත සඳහා මෙම බ්‍රිතාන්‍ය සමාගම වඩාත් ප්‍රසිද්ධ වී ඇත.



ලොව පුරා සේවකයින් 90,000ක් පමණ සිටින මෙම බ්‍රිතාන්‍ය සමාගම,  2020 දී ඩොලර් බිලියන 39කට දුර්ලභ රෝග විශේෂඥ සමාගමක් වන Alexion මිලදී ගත් අතර ඒ සමග AstraZeneca සමාගම වර්ධනය සඳහා වැදගත් වෙළඳපොළක් ලෙස චීනය හඳුනා ගත්තේය.

නමුත් පසුගිය වසරේදී සමාගම චීනයේ එහි ව්‍යාපාරය වෙන් කර හොංකොං හෝ ෂැන්හයිහි එහි කොටස් ලැයිස්තුගත කිරීමට සලකා බැලූ බව වාර්තා විය. මෙය චීනය සහ එක්සත් ජනපදය සහ එහි සහකරුවන් අතර ඇතිවන ගැටුම් වලින් ආරක්ෂා වීමට උත්සාහයක් ලෙස බ්ලූම්බර්ග් හඳුන්වා ඇත.