Exploding-walkie-talkies-injure-more-than-100-in-new-attacks-across-Lebanon

කෙටි පණිවිඩ ලබාදෙන පේජර් ගැජට්ටු පැළඳ සිටි පුද්ගලයින් ඉලක්ක කරගෙන ලෙබනනයේ සිදුවූ අමුතු ආකාරයේ ප්‍රහාරයක් ගැන වාර්තා‍වන අතර සැප්තැම්බර් 17 වන අඟහරුවාදා, පේජර් දහස් ගණනක් පිපිරී යාමෙන් අවම වශයෙන් නව දෙනෙකු මිය ගොස් 3,000ක් පමණ තුවාල ලැබූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ජංගම දුරකථන යුගයට පෙර යුගයේ ජනප්‍රිය වූ මෙම ගැජට්ටු තවමත් ඇතැම් රටවල භාවිත වන අතර ලෙබනනයේ මේවා භාවිත කරන පුද්ගලයින් විහාල ප්‍රමාණයක් සිටී. මේවා පුපුරන ආකාරයට පණිවිඩ එවා ඇති ආකාරය තවමත් ගැටලුකාරී වන අතර පඍීක්ෂණ පවත්වන නිලධාරීන් සැකකරන පරිදි මෙම පේජර පුපුරායන්නට හැකි පරිදි හිතාමතා දෘඩාංග වෙනසක් කර භාවිතයට ලබාදී තිබූ ඒ වා විය හැකි බවයි.
මෙය සංවිධානාත්මක ප්‍රහාරයක් ලෙස හඳුනාගෙන තිබෙන අතර පැළඳ සිටියදී පුපුරායාම නිසා ලෙබනනයේ ඉරාන තානාපතිවරයාද තුවාල ලබා තිබේ. හිස්බුල්ලා සාමාජිකයන් ඉලක්ක කළ බව වාර්තා වූ මෙම ප්‍රහාරය සිවිල් ප්‍රදේශවල කලබලයක් ඇති කළ අතර රෝහල් වෙත විශාල පිරිස් ඇතුළත් කරන්නට හේතුවූ සිදුවීමකි.


පිපිරීම් ලෙබනනය පුරා එකම වේලාවක සිදුව ඇති අතර, අසල්වැසි සිරියාවේද ප්‍රහාර වාර්තා විය. පේජර උපකරණය පැළඳ සිටි ස්ථාන අනුව තුවාල විවිධ විය. විශේෂයෙන් මුහුණු, අත් සහ බඩවැල්වලට තුවාල සිදු වූ අතර, 200කට වැඩි පිරිසක් දරුණු තත්ත්වයේ පසුවෙති.
 ෆාතිමා අබ්දුල්ලා ජාෆර් නම් අවුරුදු 10ක දැරිය ඇගේ පියාගේ පේජරය පිපිරීමෙන් මිය යාමද මෙම ප්‍රහාරයේ අවාසනාවන්ත ප්‍රතිඵලයකි.
හිස්බුල්ලා සහ ලෙබනන රජය ප්‍රහාරය සඳහා ඊශ්‍රායලයට චෝදනා කළ අතර "සාධාරණ දඬුවමක්" දිය යුතු බවට කියා තිබේ. ඊශ්‍රායලය ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටි අතර, නෙතන්යාහු අගමැතිවරයාගේ කාර්යාලය අමාත්‍යවරුන්ට සම්මුඛ සාකච්ඡා ලබා නොදෙන ලෙස නියෝග කර ඇති බව වාර්තා විය.
ප්‍රහාරයේ පරිමාණය සහ සංකීර්ණතාවය හේතුවෙන් හිස්බුල්ලා සන්නිවේදන ජාලය අවදානමට ලක් වූවාද යන්න පිළිබඳව පුළුල් අනුමානද ඇති විය.
අදාළ පේජර් තායිවානයේ ගෝල්ඩ් අපොලෝ සමාගමෙන් නිෂ්පාදිත AR-924 මාදිලියේ ඒවා බව හඳුනා ගැනිණි. හංගේරියානු BAC සමාගමට යම් කලාපවල තම වෙළඳ නාමය භාවිතා කිරීමට අවසර දී ඇති බව සමාගම පැවසීය. විශ්ලේෂකයින්ගේ අදහස වූයේ පේජර් හිස්බුල්ලා වෙත ළඟා වීමට පෙර සැපයුම් දාමයේ හෝ දෘඪාංග හැසිරවීමේ මැදිහත්වීමක් සිදුව තිබිය හැකි බවයි.



හිටපු බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියෙකු සහ බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ විශේෂඥයෙකු වන ක්‍රිස් හන්ටර් ඇතුළු විශේෂඥයින්ගේ මතය වූයේ පේජර් බැටරිවල පුපුරණ ද්‍රව්‍ය සවි කර සම්බන්ධීකරණය කළ පණිවිඩයකින් හෝ කේතයකින් ඒවා ක්‍රියාත්මක කර ඇති බවයි.
තුවාල ලිතියම් බැටරි පිපිරීම්වලට වඩා කුඩා ප්‍රමාණයේ යුද පුපුරණ ද්‍රව්‍යවලට අනුරූප විය.
මෙම ප්‍රහාරය ඊශ්‍රායලය සහ හිස්බුල්ලා අතර තාක්ෂණික හැකියාවන්හි සැලකිය යුතු වෙනසක් පෙන්නුම් කළේය. බටහිර මූලාශ්‍රවලින් ලබා ගත් තාක්ෂණය මත යැපීම හිස්බුල්ලා සැපයුම් දාමයේ අවදානම් ඇති කළ හැකි බව සයිබර් ආරක්ෂණ විශේෂඥයින් පෙන්වා දුන්හ.

මෙම සංකීර්ණ ප්‍රහාරය හේතුවෙන් හිස්බුල්ලා සිය සන්නිවේදන උපාය මාර්ග නැවත ඇගයීමට ලක් කිරීමටත්, විභව අවදානම් සඳහා සිය සමස්ත සැපයුම් දාමයම පරීක්ෂා කිරීමටත් බල කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. සංවිධානය දැන් සිය සන්නිවේදන උපකරණ පමණක් නොව ඩ්‍රෝන සහ වොකී ටෝකී වැනි වෙනත් ආනයනික තාක්ෂණයන්ද සුරක්ෂිත කිරීමේ අභියෝගයට මුහුණ දී සිටී.
පිපිරීම් සිදුවීම් කිහිපයක වීඩියෝ පහතින්