ඔලිම්පික් ක්‍රීඩිකා රෙබෙකා චෙප්ටෙගෙයි හිටපු පෙම්වතෙකු විසින් පෙට්‍රල් වත්කර ගිනි තැබීමෙන් දින කිහිපයකට පසු මියගොස් ඇත.
මෑතකදී පැරිස් ඔලිම්පික් උළෙලේ තරඟ වැදුණු අවුරුදු 33ක් වයසැති උගන්ඩා මැරතන් ධාවිකාව ඉරිදා සිදුවූ ප්‍රහාරයෙන් පසු බරපතල පිළිස්සුම් තුවාල ලබා තිබුණි.
චෙප්ටෙගෙයි ජීවත් වූ සහ පුහුණුව ලැබූ කෙන්යාවේ වයඹ දිග බලධාරීන් පැවසූ පරිදි, ඇය සිය දියණියන් දෙදෙනා සමඟ පල්ලියෙන් නිවසට පැමිණි පසු ඉරිදා දිනෙක මෙම කරදරයට ලක්ව තිබේ.
ප්‍රාදේශීය පරිපාලකයෙකු විසින් ගොනු කරන ලද වාර්තාවක සඳහන් වන්නේ ක්‍රීඩිකාව සහ ඇගේ හිටපු පෙම්වතා ඉඩම් කැබැල්ලක් සම්බන්ධයෙන් ආරවුල් වී ඇති බවයි. පොලීසිය පවසන්නේ පරීක්ෂණයක් සිදු කෙරෙමින් පවතින බවයි.
කෙන්යාවේ කාන්තා ක්‍රීඩිකාවන්ට එරෙහි ප්රචණ්ඩත්ව සිද්ධීන් වැඩි වීම පිළිබඳව සැලකිලිමත් වී ඇත. 2021 ඔක්තෝබර් මාසයේ සිට ඝාතනය වූ තෙවැනි ක්‍රීඩිකාව චෙප්ටෙගෙයි වේ.
ඇය ප්‍රතිකාර ලැබූ රෝහල ඉදිරිපිට මාධ්‍යවේදීන් අමතමින්, ඇගේ පියා වන ජෝසෙප් චෙප්ටෙගෙයි පැවසුවේ "ඉතා උපකාරශීලී" දියණියක් අහිමි වූ බවත්, කෙන්යානු රජයෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා සිටින බවත්ය.
එල්ඩොරෙට්හි මොයි ශික්ෂණ හා යොමු කිරීමේ රෝහලේ ප්‍රධානී වෛද්‍ය ඕවන් මෙනාච් දේශීය මාධ්‍ය වෙත පැවසුවේ ක්‍රීඩිකාව මියගොස් ඇත්තේ ඇගේ සියලුම අවයව අක්‍රිය වීමෙන් පසු බවයි.
"අපගේ ක්‍රීඩිකාව වන රෙබෙකා චෙප්ටෙගෙයි ගෘහස්ථ ප්රචණ්ඩත්වයේ ගොදුරක් වී අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව දැඩි කනස්සල්ලෙන් යුතුව දන්වා සිටිමු. සංගමයක් ලෙස අපි මෙවැනි ක්‍රියා හෙළා දකින අතර යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා සිටිමු. ඇගේ ආත්මය සාමය ලැබේවා," යනුවෙන් උගන්ඩා Athletics සංගමය X හි පළ කළ සටහනක සඳහන් විය.
මෙම සිදවිමෙන් පෙම්වතාද රෝහල් ගත කර තිබුණේය - නමුත් එතරම් බරපතල පිළිස්සුම් සහිතව නොවේ. ඔහු තවමත් දැඩි සත්කාර ඒකකයේ සිටින නමුත් ඔහුගේ තත්ත්වය "වැඩිදියුණු වෙමින් සහ ස්ථාවර" බව වෛද්‍ය මෙනාච් පැවසීය.
"යුවළ ඔවුන්ගේ නිවස පිටත ආරවුල් වෙනවා ඇසුණා. ආරවුල අතරතුර, පෙම්වතා කාන්තාව මත ද්‍රවයක් වත් කර ගිනි තබනු දැක තිබෙනවා," යැයි ප්‍රාදේශීය පොලිස් ප්‍රධානී ජෙරෙමියා ඔලේ කොසියොම් දේශීය මාධ්‍ය වෙත පවසා තිබේ.
උගන්ඩාවේ දේශසීමාවට ආසන්න ප්‍රදේශයකින් පැමිණි චෙප්ටෙගෙයි, කෙන්යාවේ බොහෝ ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන වලට ආසන්නව සිටීම සඳහා ට්‍රාන්ස් න්සොයියා පළාතේ ඉඩමක් මිලදී ගෙන නිවසක් ඉදි කර ඇති බව කියැවේ.
"මෙය මහා ක්‍රීඩිකාවක් අහිමි කළ පිරිහුණු සහ අර්ථ විරහිත ක්‍රියාවකි. ඇගේ උරුමය දිගටම පවතිනු ඇත," යැයි උගන්ඩාවේ ඔලිම්පික් කමිටුවේ ප්‍රධානී ඩොනල්ඩ් රුකාරේ X හි සඳහන් කළේය.
මාධ්‍යවේදීන් අමතමින්, සතියේ මුල් භාගයේදී ඇගේ පියා වන ජෝසෙප් චෙප්ටෙගෙයි පැවසුවේ ඔහු "මගේ දියණියට යුක්තිය ඉටු වීම සඳහා යාච්ඤා කරන" බවත්, තම ජීවිතයේ මෙවැනි අමානුෂික ක්‍රියාවක් දැක නොමැති බවත්ය.
චෙප්ටෙගෙයි මෑතකදී පැවැති පැරිස් ඔලිම්පික් උළෙලේ මැරතන් තරඟයේදී 44 වන ස්ථානය ලබා ගත්තාය.
ඇය 2022 දී තායිලන්තයේ චියැන්ග් මායි හි පැවැති ලෝක කඳුකර සහ මාර්ග ධාවන ශූරතාවලියේදී රන් පදක්කමක්ද දිනා ගත්තාය.
ඇගේ මරණය සිදු වන්නේ 2021 දී ඇග්නස් ටිරොප් සහ ඊළඟ වසරේ ඩැමරිස් මුටුවා යන නැගෙනහිර අප්‍රිකානු ක්‍රීඩිකාවන්ගේ ඝාතන වලින් පසුවයි. මෙම සිද්ධි දෙකෙහිම ප්‍රධාන සැකකරුවන් ලෙස බලධාරීන් විසින් ඔවුන්ගේ සහකරුවන් හඳුනාගෙන ඇත.
ටිරොප්ගේ සැමියා දැනට මිනීමැරුම් චෝදනාවලට මුහුණ දෙමින් සිටින අතර, ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. මුටුවාගේ පෙම්වතා සොයා ගැනීමේ මෙහෙයුම තවමත් සිදු වෙමින් පවතී.
කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය කෙන්යාවේ ප්‍රධාන ගැටලුවකි. ජාතික සමීක්ෂණයකට අනුව 2022 දී කාන්තාවන්ගෙන් අවම වශයෙන් 34% ක් ශාරීරික ප්‍රචණ්ඩත්වයට ලක් වී ඇති බව පවසා තිබේ.
0 Comments