The-Sri-Lankan-student-of-the-German-University-went-swimming-in-a-waterfall-and-went-missing

ජර්මනියේ මියුනිච් නගරයේ විශ්වවිද්‍යාලයක සිවිල් ඉංජිනේරු උපාධිය හදාරන ශ්‍රී ලාංකික සිසුවකු විශ්වවිද්‍යාලය ආසන්නයේ දිය ඇල්ලක අතුරුදන්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.ලසිත් යසෝද කෲස් පුල්ලේ නමැති මෙම සිසුවා මීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු ඉකුත් සිකුරාදා මෙම සිද්ධියට මුහුණ පා ඇතැයි කියයි.




තම මල්ලි විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන කිලිනොච්චියේ තරුණයකු සහ සිම්බාබේ තරුණයකු සමග විශ්වවිද්‍යාලය ආසන්නයේ ඇති දිය ඇල්ලක නෑමට ගිය අවස්ථාවේ ගිලී අතුරුදන්ව ඇති බවට පැවසුණත් මෙම අතුරුදන්වීම අබිරහසක් බවට සාධක පෙනෙන්නට ඇතැයි ලසිත් සිසුවාගේ සහෝදරිය වන චමෝදි මිලේශනී මහත්මිය පැවැසුවාය.




තම මල්ලිගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා තමන් මේ ගැන විදේශ අමාත්‍යාංශයට පැමිණිලි කරන බව මිලේශනී මහත්මිය වැඩිදුරටත් කීවාය.කිසියම් පිරිසක් තම මල්ලී රහසිගතව සඟවාගෙන සිටින බවට තමන් තුළ තදබල සැකයක් පවතින බව ද ඇය අවධාරණය කළාය.සිවිල් ඉංජිනේරු උපාධිය හැදෑරීම සඳහා තමන්ගේ මල්ලී මීට මාස පහකට ඉහතදී ජර්මනියට ගිය බවත් දියේ ගිලී අතුරුදන්වූවා යැයි කියන පසුගිය සිකුරාදා දිනයේ තමන්ට දුරකතනයෙන් කතා කළ බවත් ඇය කීවාය.


විදෙස්ගතවීමට මුදල් සොයා ගැනීමට උකස් කර තිබූ රන් භාණ්ඩ බේරා ගැනීමට තමන්ට රුපියල් ලක්ෂ පහමාරක මුදලක් එවන බව දුරකතනයෙන් කතා කළ අවස්ථාවේ දැනුම් දුන් බවත් එම මුදල මෙම දොළොස් වැනිදාට ලැබෙන බවත් මල්ලී තමා සමග පැවැසූ බව මිලේශනී මහත්මිය පවසයි.

යන එන සියලු ගමන් බිමන් ගැන මල්ලි තමන්ට කතා කර දැනුම් දෙන බවත් පසුගිය සිකුරාදා කතා කළ අවස්ථාවේ බඩු මුට්ටු ගෙන ඒමට සුපර් මාකට් එකකට යන බවත් එහෙත් නෑමට යන බවක් දැනුම් නොදුන් බවත් ඇය සඳහන් කළාය.වැඩිදුරටත් ඇය මෙසේද පැවසුවාය.


මල්ලි ඉගෙන ගත් විශ්ව විද්‍යාලයෙන්වත් මේ ගැන අපට තවම දැනුම් දීමක් කර නැහැ. කිමිදුම්කරුවන් යොදවා මල්ලි සොයා බලා ඇතත් මේ වනතෙක් සිරුර හමු වෙලා නැහැ. කොටින්ම කියනවා නම් ජර්මනියේ කිසිදු බලධාරියකු මේ ගැන අපට දැනුම්දීමක් කර නැහැ. මල්ලිගේ අතුරුදන්වීම ගැන අපට බලවත් සැකයක් ඇතිවී තිබෙනවා. ඒ නිසා විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා බලධාරීන්ගෙන් අපි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා යැයි ද ඇය පවසන්නීය.
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)