after-election-situation

අද රාත්‍රී 10 සිට හෙට අලුයම 6 දක්වා මුළු දිවයිනටම බලපාන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ. පූර්ව ආරක්ෂණ වැඩපිලිවෙලක් ලෙස මෙය ක්‍රියාත්මක වේ.

ජනපති නියෝගයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශය මෙම ඇඳිරි නීතිය පනවා ඇත.
රටතුළ සාමකාමී තත්වයක් තිබුණත් රට තුළ වැඩි ආරක්ෂාව තකා මෙම පැනවීම සිදුකර ඇත.

 ජනපතිවරණ කාලසීමාවේ පැවති ප්‍රචණ්ඩකාරී සිදුවීම් ඉතා අවම මට්ටමක පැවතීම නිසා ඉතිහාසයේ වඩාත්ම සාමකාමී මැතිවරණයක් පැවැති බව බලධාරීන් ප්‍රකාශ කර ඇති නමුත් දේශපාලන බල පෙරළියක් සිදූවූවොත් ඇතිවන තත්වය ප්‍රචණ්ඩකාරී විය හැකි බවට ආරක්ෂක අංශ දැනුවත් කර තිබේ.
ඉදිරි කාලසීමාව තුළ රටේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්  ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා අද සවස ප්‍රකාශ කළේය.
මැතිවරණයෙන් පසු ප්‍රචණ්ඩ තත්ත්වයක් ඇති වුවහොත් ඊට එරෙහිව දැඩිව කටයුතු කරන බවත් අවශ්‍ය වුවහොත් රට තුළ ඇඳිරි නීතිය දීර්ඝ කිරීමට සූදානම් බවත් මහජන ආරක්ෂක ඇමති  ටිරාන් අලස් අමාත්‍යවරයා සදහන් කරයි.


සඳුදා දින (23) නිවාඩු දිනයක් බවට පත්කර ඇත්තේද අනවශ්‍ය ඒකරාශිවීම් වලක්වාලීමේ පූර්ව අමුණකිනි. සිදුවිය හැකි දේ අනුව මෙම නිවාඩුව දීර්ඝ කිරීම හෝ නොකිරීම තීරණය වනු ඇත.

මේ අතර, පශ්චාත් මැතිවරණ කාලසීමාව තුළ සහ සතියක් ඇතුළත කිසිම පුද්ගලයෙකුට රථ වාහනවලින් හෝ පාගමනින් පෙළපාලි යෑම සම්පූර්ණයෙන් තහනම් බවත් සියලුම ජනතාව මෙම නීතිරීතිවලට අවනතව කටයුතු කළයුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම්දෙයි.

අද (21) පස්වරු 4ට ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්වීමෙන් පසු පොලිස් නිලධාරීන් සහ කැරළි මර්දන ඒකකයේ නිලධාරීන් අවශ්‍ය පරිදි රාජකාරියේ යෙදී සිටින අතර පොලිස් මාර්ග බාධක ක්‍රියාත්මක වන බැවින් ප්‍රතිඵල නිකුත්කර අවසන්වන තුරුම රට තුළ ආරක්ෂක වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන බවද වාර්තා විය.

මේ අතර බල පෙරළියක් සිදුවූවොත් පලිගැනීම් සිදුවීමට ඇති ඉඩකඩ වැඩි බැවින්ඒ ගැන ආරක්ෂක අංශ සීරුවෙන් සිටින බවද වාර්තා විය.


බොහෝ දේශපාලනඥයින් මේ වනවිටත් ලංකාවෙන් පිටතට ගොස් ඇති අතර ඇතැමුන් ගුවන් ටිකට්පත් වෙන්කරවා ගැනීම් සිදුකර ඇති අතර ඔවුන් ප්‍රතිඵල සමග පිටවීමේ සම්භාවිතාව වැඩිය. මේ අතරවාරයේ ඇතිවිය හැකි පලිගැනීමේ ගැටුම් ගැන අවදානය යොමුකර කොළඹ බණ්ඩාරනායක ගුවන් තොටුපළේ ආරක්ෂාව තර කර ඇති බව වාර්තාවේ.
බොහෝ පිරිසක් රට හැර යාමට ඉඩ ඇති බවට සැක කෙරෙන බැවින් මෙම ආරක්ෂක පියවර ගෙන ඇති බව දැනුම්දී ඇත.
 ගුවන් භටයන් 200කට අධික පිරිසක් ගුවන් තොටුපළේ ආරක්‍ෂක කටයුතුවල නිරතව සිටින බව වාර්තාවේ.
ඇඳිරි නීතිය පැනවීමට අදාළ පොලිස් නිල නිවේදනය පහතින්