ali-sabry-harsha-message

දැනට නිකුත්ව ඇති ජනපතිවරණ ප්‍රතිඵල අනුව ජාජබ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පැහැදිලි ජයග්‍රහණයක සලකුණු පෙන්නුම් කර තිබේ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ජාතික ජනබලවේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ට්විටර් (එක්ස්) පණිවිඩයකින් සුබ පතමින් පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා වන්නේ අනුර දිසානායක බව මේ වන විට පැහැදිලි වී ඇති බවත් තමා සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන්,  සහය දැක්වූවත් ප්‍රජාතන්ත්‍රවාදය අගයන පුරවැසියෙකු ලෙස ඔහු අනුර කුමාර දිසානායක මහතා අමතා සුබ පැතුම් එක් කළ බවයි.

මේ අතර මැතිවරණ ප්‍රතිඵලයට අනුව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය පැහැදිළි බව මෙවර රනිල් වික්‍රමසිංහට සහය පළකළ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසා තිබේ.


එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ අනුර කුමාර දිසානායකට සහ ඔහුගේ කණ්ඩායමට තමන් සුබ පැතුම් එක් කරන බවයි.රටක් මෙහෙයවීම පහසු කාර්යයක් නොවන බවත්, අනුර කුමාර දිසානායකගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවට සාමය, සමෘද්ධිය සහ ස්ථාවරත්වය ගෙන එනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඔහු කියයි. අතීත පාඩම් ඉගෙනගනිමින් ජාතික ජනබලවේගයේ නායකයා විනිවිද භාවය, අඛණ්ඩතාවය සහ රටේ දිගුකාලීන යහපත සඳහා නායකත්වය දෙනු ඇති බවට තමන් අපේක්ෂා කරන බව ඔහු දන්වා ඇත.