anura-kumara-10-question

 ඔබ ජනපති ධුරයට පත්වුණොත් නව ආණ්ඩුව පිහිටුවීමට සිදුකරන වැඩපිළිවෙළ කුමක්ද?


ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් වහාම දැනට පවතින කැබිනට් මණ්ඩලය විසුරුවා හැරිය යුතුයි කියන මතයේ අපි ඉන්නවා. අනතුරුව කඩිනමින් මහ මැතිවරණයක් කැඳවනවා. ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන අන්තර් කාලය සඳහා පවතින ව්‍යවස්ථාවට අනුකූලව අනුගමනය කළ හැකි විකල්ප ක්‍රියාමාර්ග කිහිපයක්ම තිබෙනවා. පළමු විකල්පය මා ජයග්‍රහණය කළ පසුව, හිස්වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්පූර්ණ කර

හතරදෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පිහිටුවීම. දෙවැන්න සියලු විෂයන් ජනාධිපති යටතට ගෙන කෙටි කාලයක් තුළ කටයුතු කිරීම. තුන්වන විකල්පය අනෙක් පක්ෂත් නියෝජනය වන පරිදි භාරකාර ආණ්ඩුවක් මගින් මහ මැතිවරණය අවසන් වනතෙක් රට ඉදිරියට කරගෙන යෑම. මෙයින් වඩාම සුදුසු විකල්පය අනුව අපි කටයුතු කරනවා. ඊළඟට මහ මැතිවරණයෙන් පසුව අපි ලැබෙන ජනවරමින් මෙතෙක් මේ රටේ බිහිවුණ ප්‍රගතිශීලීම ජනතා ආණ්ඩුව බිහිකරනවා.




රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේදී ප්‍රමුඛතා මොනවාද?


පළමුවැන්න තමයි රට පුරාම විහිදී තිබෙන වංචා, දූෂණ සහ අක්‍රමිකතා මැඬපැවැත්වීම.දෙවැන්න, රාජ්‍ය ආදායම් වියදම් නිසි ලෙසත්, කාර්යක්ෂම ලෙසත් පාලනය කිරීම. ඊළඟට රාජ්‍ය ආදායම් රැස් කරන ක්‍රමවේද වඩා ප්‍රශස්ත සහ කාර්යක්ෂම කිරීම. ඒ වගේම වෙළෙඳ ශේෂය ප්‍රශස්ත ලෙස පවත්වාගෙන යෑමත් ඉතාම වැදගත්. අනෙක් කරුණ රාජ්‍ය පරිපාලනය වඩාත් ප්‍රශස්ත සහ කාර්යක්ෂමකරණයට ලක් කළ යුතු වෙනවා. ඊළඟට රට පුරාම ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන්න කටයුතු කිරීම. විශේෂයෙන් සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඒකරාශී කොට මෙම නිෂ්පාදන ක්‍රියාවලියට බද්ධ කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම නව ව්‍යවසායන් ඇති කිරීමත් ඉතා වැදගත්. අනෙක් පසින් දෙස් විදෙස් වෙළඳපොළ සොයා ගැනීමත් වැදගත්. මෙවැනි ප්‍රමුඛතා කෙටිකාලීනව, මධ්‍යකාලීනව සහ දිගුකාලීනව ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.


ජනතාවගේ බදු බර අඩු කරන හා ජීවන වියදම අවම කරන ජනතා සහන ලබාදීමට සිදුකරන ප්‍රායෝගික වැඩපිළිවෙළ කුමක්ද?


අපේ රටේ ජනතාව මුහුණ දෙන අතිශය දරුණු ආර්ථික දුෂ්කරතා පිළිබඳව, අපි ඉතා හොඳ අවබෝධයක සිටිනවා. කිසිදු හදවතේ තෙතමනයක් නැති, ජනතාවගේ දුක නොදන්න රනිල් වික්‍රමසිංහ මිනිස්සුන්ගේ අත්‍යවශ්‍ය ආහාර ටිකට, සෞඛ්‍යයට, අධ්‍යාපනය වැනි ක්ෂේත්‍රවලට පවා බදු ගැහුවා. ඒකෙන් අතිවිශාල පීඩනයක් ජනතාව මත පැටෙව්වා. නමුත් අපි අනිවාර්යෙන්ම මෙම ක්ෂේත්‍ර මත පනවා තිබෙන 18% වැට් බද්ද ඉවත් කරනවා. අවම වශයෙන් 18%ක ආර්ථික වාසියක් හා විශාල සහනයක් ජනතාවට එනවා. අපේ රටේ දෛනිකව තුන් වේල සපයා ගන්න බැරිව සිටින විශාල පිරිස ඉතාම විනිවිද සහ විද්‍යානුකූල ක්‍රමවේදයක් ඔස්සේ හඳුනාගෙන ඔවුන්ට සහනයක් ලෙස අවම වශයෙන් රුපියල් 10,000 සිට මාසික දීමනාවක් ලබාදෙන්න කටයුතු කරනවා. ඔවුන් සිටින තත්ත්වය අනුව මේ මුදල ඉහළ යනවා. ඒ වගේම ගෑස්, විදුලිය, ජලය සහ ඉන්ධන වැනි උපයෝගිතා භාණ්ඩ මිල ගණන්ද ජනතාවට දැරිය හැකි මට්ටමකට පත් විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. මේ රටේ ඕනෑම පවුලකට සිය ආහාර, ඇඳුම්, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය වැනි මූලික මිනිස් අවශ්‍යතා කිසිදු අපහසුවකින් තොරව ලබාගැනීමට අවශ්‍ය පාරිසරික තත්ත්වය අපි අනිවාර්යෙන්ම ගොඩනගනවා.

අපි බලයට පත් වෙන්නේම පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් ගොඩනගන්නයි.


ඔබගේ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය කෙසේද? අගමැතිවරයා කවුද?


අපි ගොඩනගන ජනතා ආණ්ඩුවේ ඇමතිවරු ගණන 25යි. නියෝජ්‍ය ඇමතිවරු 25යි. රාජ්‍ය ඇමතිවරු නැහැ. ඒ වගේම වඩාම විද්‍යානුකූල ලෙස අමාත්‍යාංශ විෂයන් වෙන් කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. අගමැතිවරයා සම්බන්ධයෙන් ඒ වන විට පවතින තත්ත්වය සලකා බලා තීන්දුවක් ගන්නවා.


 අයි.එම්.එෆ්. ගිවිසුම පිළිබඳ ක්‍රියාකරන ආකාරය කෙසේද?


අපි මේ වන විටත් ඉන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන තුළයි. නමුත් මේ වැඩසටහන ක්‍රියාත්මක වීම තුළ ජනතාවට විශාල පීඩනයක් එල්ල වෙලා තියෙනවා. ඒ නිසා මේ පිළිබඳව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් සමග සාකච්ඡා කරලා, ජනතාවට සහන සලසන්න තමයි අපේ බලාපොරොත්තුව. ඔවුන් දැනටමත් ප්‍රකාශයට පත් කරලා තියෙනවා මැතිවරණයෙන් පත්වන නව ආණ්ඩුව සමග කටයුතු කරන්න සූදානම් බව. ජනතාවට පීඩනයක් ඇති නොවන ලෙසත්, ආර්ථිකයට ඉතාම කුඩා හෝ හානියක් නොවන ලෙස මේ කටයුත්ත කළ යුතුයි කියලා අපි හිතනවා. මොකද ආර්ථික තුළ සිදුවන ඉතාම කුඩා වෙනසක් පවා දැවැන්ත ප්‍රතිඵල ගෙන දිය හැකියි.


ඇමෙරිකාව, ඉන්දියාව, චීනය හා  රුසියාව යන මහ බලවතුන් සමග ගනුදෙනු කිරීමේ ක්‍රියාපිළිවෙළ කුමක්ද?


මේ වන විට ලෝකයේ විවිධ බලකඳවුරු නිර්මාණය වෙලා තිබෙනවා. මීට පෙර තිබුණු පරිදි බල කඳවුරු දෙකකට පමණක් ලෝකය බෙදිලා නැහැ. අපි අනුගමනය කරන්නේ මේ කිසිදු බලකඳවුරකට නොබැඳුණු විදේශ ප්‍රතිපත්තියක්. මේක අභියෝගාත්මක වෙන්න පුළුවන්. නමුත් අපේ මතය එයයි. මෙහිදී අපිට සමීපයෙන් පිහිටා තිබෙන ඉන්දියාව ඉතා වැදගත්. ඒ වගේම මෙම කලාපයේ විවිධාකාරයෙන් කටයුතු කරන චීනයත් අපිට වැදගත්. වෙනත් රටවලුත් වැදගත්. අපේ ගොඩබිම, ගුවන හෝ මුහුදු තීරය කිසිවිටෙක වෙනත් රටකට බලපෑමක් වන ලෙසට භාවිත කරන්න අපි ඉඩකඩ ලබා දෙන්නේ නැහැ. ඇමෙරිකාව, ඉන්දියාව, චීනය හා රුසියාව කියන මේ රටවල් අපිට ඉතාම වැදගත්. ඔවුන් සමග ඉතා සමීපව කටයුතු කරන්න අපි හැමවිටම උත්සාහ

කරනවා. ඒ වගේම අපිට ඒක කළ හැකියි කියන විශ්වාසය තියෙනවා.


රට සංවර්ධිත රාජ්‍යයක් කරා මෙහෙයවීමේදී ලබාදෙන ප්‍රමුඛතා මොනවාද?



පළමු ප්‍රමුඛතාවය රටේ නිෂ්පාදනය ඉහළ දැමීම. අපේ රටේ ඉතා හොඳින් නිෂ්පාදනය කළ හැකි දේ පවා වෙනත් රටවලින් ආනයනය කිරීම නිසා අපේ ආනයන වියදම් ඉහළ ගොස් තිබෙනවා. අනෙක් පසින් අපි සීමිත නිෂ්පාදනයක් පමණක් සිදුකරන නිසා අපනයන ආදායම් පවතින්නේ පහළ අගයක. මේ නිසා අපි ගෙවුම් ශේෂ දුෂ්කරතාවයකට මුහණ දී සිටිනවා. මේ තත්ත්වය වහාම වෙනස්කළ යුතුයි. ඒ සඳහා පළමුව විධිමත් ජාතික නිෂ්පාදන සැලැස්මක් අපි ගොඩනගනවා. විදේශ ආයෝජන අවශ්‍ය තැන්වලට ඒ ආයෝජන කැඳවනවා. විශේෂයෙන් තාක්ෂණය අවශ්‍ය තැන්වලට අපි ප්‍රමුඛතාව ලබාදෙනවා. නිෂ්පාදනය වැඩි වන විට වෙළඳපොළද පුළුල් විය යුතුයි. විශේෂයෙන් විදේශ වෙළඳපොළ. අපේ ප්‍රධාන අරමුණක් තමයි ගෝලීය සැපයුම් ජාලයට ඇතුළත් වීම. ඒවගේම සංචාරක කර්මාන්තය පුළුල් කිරීම සඳහා අපට විශාල විභවතාවක් තියෙනවා. අපේ ඉලක්කය වසරකට මිලියන 4ක් සංචාරකයන් දිවයිනට ගෙන්වා ගැනීමයි. ඒ සඳහා අපිට දියුණු සැලසුමක් තිබෙනවා. රටේ නිෂ්පාදන හා සේවා පුළුල් වෙනවා කියන්නේ රටේ ආදායම් වැඩි වෙනවා කියන ඒක. ඒ කියන්නේ ආර්ථිකය ශක්තිමත් වෙනවා කියන එක. මේ තියෙන බොහෝ ප්‍රශ්නවලට මෙමගින් පිළිතුරු ලැබෙනවා.




පළාත් සභා ක්‍රියාත්මක ‍කරනවාද? ක්‍රියාත්මක කරනවා නම් ඒ කෙසේද?


පළාත් සභා ක්‍රමය ගොඩනැගුවේ දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුමක් ලෙස කිව්වත්, ඒක විසඳුමක් වෙලා කියලා දෙමළ ජනතාව වගේම, සෙසු ජනකොටස් පිළිගන්නේත් නැහැ. නමුත් පළාත් සභා කියන්නේ දැනට අපේ රටේ පවතින නීතිය ප්‍රකාරව ක්‍රියාත්මක වන යාන්ත්‍රණයක්. ඒ නිසා දැනට දින නියමයක් නොමැතිව කල් තබා ඇති පළාත් සභා සහ පළාත් පාලන ආයතන මැතිවරණ වසරක් තුළ පවත්වා ජනතාවට පාලනයට සම්බන්ධ වීමට අවස්ථාව සලනවා.


නමුත් අපේ අපේක්ෂාව වන්නේ එක රටක් තුළ සියලු ජනතාව පාලනයට සම්බන්ධ විය හැකි වන ලෙස සෑම පළාත් පාලන ආයතනයකටම, දිස්ත්‍රික්කයකටම සහ පළාතකටම දේශපාලනමය සහ පරිපාලනය වශයෙන් බලය බෙදා හැරෙන, ආණ්ඩුකරණය සඳහා සියලු ජාතිකත්වයන්ගේ

දේශපාලන හවුල්කාරීත්වය සහතික කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමයි.


දූෂණය වැළැක්වීම හා දූෂිතයැයි 9 කියූ අයට දඬුවම් ලබාදීම කරන්නේ කෙසේද?


අපේ රටේ ආර්ථිකය මේ විදිහට කඩා වැටීමට වංචාව, දූෂණය සහ නාස්තිය ප්‍රධාන ලෙස හේතු වෙලා තියෙනවා කියන ඒක පැහැදිලියි. මේ තත්ත්වයට අපේ රටේ දිගු කාලයක් පැවති දූෂිත දේශපාලන සංස්කෘතිය හේතු වී තිබෙනවා. අපි එය මුළුමනින්ම වෙනස් කරනවා.


මේ වංචා, දූෂණය සහ නාස්තිය නිසාම, අපේ රටට අත්‍යවශ්‍ය ව්‍යාපෘති රැසක් කරගන්න බැරී වෙලා තිබෙනවා. ඒ වගේම මේ නිසා අත්‍යවශ්‍ය නොවන විවිධ සංවර්ධන ව්‍යාපෘති රැසක් අපේ රටේ ක්‍රියාත්මක වෙලත් තියෙනවා. මේ තීන්දු සියල්ල පිටුපස තියෙන්නේ දේශපාලකයන්ගෙන් ලැබුණු අල්ලස් සහ ඔවුන්ගේ දූෂණයන්. මේ තත්ත්වය නිසා අයෝජකයන්ට තමන්ගේ ප්‍රාග්ධනය යෙදවීමට බරපතළ බාධා ඇති කරලා තියෙනවා. ඒ වගේම අල්ලස මගින් ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයට විශාල බලපෑමක් සිදු කරලා තියෙනවා. අල්ලස් ලබාදීමට කැමැති අයට සහ එසේ නොවන අයට දෙවිදිහකට සලකනවා. ආයෝජන සිදු කිරීමේදී සහ නව ව්‍යාපාර හෝ ව්‍යාපෘති ආරම්භ කිරීමේදී සම බිමක් ඔවුන්ට ලැබෙන්නේ නැහැ. ඒ සඳහා අපි කඩිනමින් පියවර ගන්නවා.


අනෙක් පසින් මේ වන විටත් මෙවැනි වංචා,

දූෂණවලට සම්බන්ධ වී සිටින අයට නිසි පරීක්ෂණ ක්‍රමවේදයක් යටතේ ක්‍රියාකර වැරදිකරුවන් නීතිය හමුවට පමුණුවනවා. ඒ වගේම අධිකරණය මගින් ඔවුන්ට නිසි දඬුවම් ලබාදීමට කටයුතු කරනවා. අපේ මූලික අරමුණක් වෙන්නේ අපේ රට මේ තත්ත්වයට ඇද දැම්ම වංචා දූෂකයන්ට තරාතිරම නොබලා නිසි දඬුවම් ලබාදීම. සොරාගත් වත්කම් නැවත අයකර ගැනීමට රාජ්‍ය වත්කම් ප්‍රතිෂ්ඨාපන ආයතනයක් ස්ථාපිත කිරීම ඇතුළු නෛතික වෙනස්කම් ගණනාවක් සිදුකරනවා. අපි ඒක රටේ පවතින නීතියට අනුකූලව අනිවාර්යෙන්ම සිදුකරනවා.


ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් සෑදීම පිළිබඳ ඔබේ අදහස කුමක්ද?


රටකට ආණ්ඩු මාරු වෙන කොට, වෙනස් වෙන ප්‍රතිපත්ති නිසා අපේ රටේ පැවැත්මට විශාල බලපෑමක් සිදුවෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මෙම තත්ත්වය යම් විෂයකට අදාළ ඇමතිවරයා මාරු වන විට ප්‍රතිපත්ති මාරු වීම දක්වා දුර ගොස් තිබුණා.

විශේෂයෙන් ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහණය, යටිතල පහසුකම්, විදේශ, පරිසරය වැනි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තීන් අවශ්‍යයි. ඒ වගේම මෙවැනි ප්‍රතිපත්තීන් කාලානුරූපව වෙනස්කම්වලටද බඳුන් විය යුතු බව අපගේ විශ්වාසයයි. විශේෂයෙන් තාක්ෂණය සමග. ඒ නිසා ජාතික ප්‍රතිපත්තීන් අවශ්‍යයි වගේම, ඒවා ලෝකයේ සිදුවන වර්ධනයන්ට සාපේක්ෂව යාවත්කාලීන විය යුතුයි කියන මතයේ අපි සිටිනවා.

(නවෝද්‍යා පවනි)