anura-kumara-parliament

 අනුර කුමාර දිසානායක නව ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසු ජනපති ලේකම්වරයෙකු පත්කිරීම අද (23)  සිදුකළ අතර රජය පවත්වාගෙනයාමට අවශ්‍ය ඊළඟ අංග හැටියට කැබිනට් මණ්ඩලයක් අලුතින් පත්කිරීමට අවශ්‍යවී ඇත.
ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු ආසන සහිත අයගෙන් මෙම කැබිනට් මන්ඩලය පිරවිය යුතු බැවින් ඒ සඳහා පාර්ලිමේන්තු ආසන 3 කට ඇමතිධුර පිරිනැමිය හැකිව තිබේ.
 දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන අය හැටියට හරිනි අමරසූරිය හා විජිත හේරත් යන දෙදෙනා පමණක් සිටින අතර තුන්වැනියාවූ අනුර කුමාර ජනපති ලෙස දිවුරුම්දීම සමග ඔහුගේ අසුන පුරප්පාඩු විය.



මෙම පුරප්පාඩුවට ලක්ෂ්මන් නිපුණආරච්චි මනාප ලැයිස්තුව අනුව තෝරාපත්කරන්නට අවශ්‍ය කටයුතු අද සිදුකර තිබේ. මැතිවරණ කොමිසම මගින් පරප්පාඩුව දැන්වූ පසු පාර්ලිමේන්තුවේ කතානායකවරයා හමුවේ දිවුරුම්දී  ලක්ෂ්මන් නිපුණආරච්චි මන්ත්‍රී ධූරය ලබාගත යුතුය.

මැතිවරණ කොමිසම සහ පාර්ලිමේන්තුව අතර සිදුවන ක්‍රියාවලියට යම් වේලාවක් ගතවන නිසා අලුතින් පත්වන මන්ත්‍රීවරයා එම තනතුර ලබාගන්නාතුරු ජාතික ජන බලවේගයේ ඊළඟ පියවර වන ඇමති ධූර පත්කිරීම පමා කර ඇත. එම පමාව නිසාම පාර්ලිමේන්තුව විසිරවීමද එයට පසු සිදුකරන ආකාරයට පමා කර ඇත.


ඒ නිසා බොහෝ විට හෙට (24) නව රජයේ ඇමති ධූර නම් කරනු ඇතැයිද අනතුරුව පාර්ලිමේන්තුව විසුරවනු ඇතැයිද වාර්තාවේ.

මෙහිදී ජනපති ධූරයට අමතරව ආරක්ෂක ඇමති ධූරය ඇතුළු ඇමති තනතුරු කිහිපයක් අනුර කුමාර යටතේ තබාගන්නටත්, අගමැති ධූරය හා තවත් ඇමති ධූර කිහිපයක් හරිනි අමරසූරිය යටතට පත්කරන්නටත් නියමිත අතර සෙසු ඇමති ධූර විජිත හේරත් හා ලක්ෂ්මන් නිපුණ ආරච්චි වෙත බෙදා දැක්වීමට නියමිතය.

මෙලෙස ඇමතිධූර වැඩි ප්‍රමාණයක් සිව් දෙනෙකුට සීමා කර ඇත්තේ මාස 2 ක පමණ කාලයකටය.
හෙට දිනයෙහි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු දින 66 කින් මහමැතිවරණය පවත්වන අතර එහිදී ජාතික ජන බලවේගය වැඩි ආසන සංඛ්‍යාවකින් යුතු රජයක් පිහිටුවීමට අපේක්ෂා කරයි.

නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීම අද සිදු නොවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි හරිනි අමරසුරියද ස්ථිර කර තිබේ.