anura-kumara-speaks

යාළුවා යයි තමා අමතන රනිල් වික්‍රමසිංහ මහතාට යාළුවාගේ තරම ලබන 21 වැනිදායින් පසු තේරුම් ගත හැකි වනු ඇතැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා   කොළඹදී  පසුගියදා (08) පැවසීය. ඔහු මෙසේ පැවසුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති ජාතික ජන බලවේගයේ තරුණ සමුළුවේදීය. අනුර දිසානායක මහතා මෙසේද කීය.


මේ සැප්තැම්බර් 21 වැනිදාට ජාතික ජන බලවේගයට ජයග්‍රහණය කළ හැකි බවට අපි හැම දෙනාටම, මහත් විශ්වාසයක් තිබෙනවා. අද අපේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය ඔවුන් කිසිසේත්ම අපේක්ෂා නොකළ ඉරණමකට මුහුණ දී තිබෙනවා. ඔවුන් හිතුවේ ඔවුන් එකිනෙකා අතර පමණක් බලය හුවමාරු වීම චිරාත් කාලයක් ආරක්ෂා කර ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් එළඹෙන 21 වැනිදාට සහතික වශයෙන්ම ඒ සාම්ප්‍රදායික බල හුවමාරුව අවසන් වෙනවා.අද ඔවුන් ඉතාම කැත, අවලස්සන, ජඩ දේශපාලනයකට අවතීර්ණ වී වී සිටිනවා. අසත්‍ය, මඩ, අවලාද විටෙක කෝපය, වෛරය ඔවුන් අපට එරෙහිව පතුරවමින් සිටිනවා.

ඉදිරි දින කිහිපය තුළ තවත් එය තීව්‍ර කරාවි කියලා අපි හිතනවා. අපිට කියන්න තියෙන්නේ එක දෙයයි. ඒ, අපේ හතුරා අපිට එරෙහිව කරන කිසිම දෙයකින් අපේ ජයග්‍රහණය නතර කළ නොහැකි බවයි.


පසුගියදා රාවුෆ් හකීම් මන්ත්‍රීවරයා ප්‍රකාශයක් කළා, මම මුස්ලිම් ජනතාවට එරෙහි ප්‍රකාශයක් කළා කියලා. ඔහුට අවස්ථාවක් තිබෙනවා ඔහුගේ ප්‍රකාශය නිවැරැදි කර, කණගාටුව පළ කරන්න. එසේ නොකළහොත් අපි නඩු දමනවා. තිස්ස අත්තනායක කියලා තිබුණා අපි ආව ගමන් නුවර පෙරහර නතර කරනවා කියලා. දැන් ඔවුන් නැවත ජාතිවාදය, ආගම්වාදය අවුළුවන්න උත්සාහ දරනවා. තිස්ස අත්තනායක කනගාටුව ප්‍රකාශ කළත් අපි ඔහුට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා. ඔහු කූඨ ලේඛන සකස් කරන්න කප් ගහපු කෙනෙක්. එහෙම කරලා රිමාන්ඩ් භාරයට පත්වූ කෙනෙක්. දැන් දින කිහිපයකට පෙර අපේ වසන්ත සහෝදරයා අත්අඩංගුවට ගන්න නියෝග කළා කියලා විශාල මඩක් ගැහුවා.

ඒ පිළිබඳවත් අනිවාර්යයෙන් ඒ අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. මේ කැත පන්නයේ දේශපාලන ක්‍රීඩාව දැන්වත් නතර කළ යුතුයි. අපි මේ තත්වයට එරෙහිව ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා.


ඊයේ පෙරේදා දවසක රනිල් වික්‍රමසිංහ "මා මිත්‍ර අනුර, මගේ යාළුවා" කිය කිය ඉන්නවා මම දැක්කා. ඔය එන්නේ ‘ශේප් වෙන්න. යාළුවා කිය කියා මොනතරම් ශේප් වෙන්න ආවත් අපේ පාලනයක් යටතේ මහ බැංකු වංචාවට එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා ගන්නවාමයි. පසුගිය කාලේ එයා බාර් ලයිසන් දීපු ඒවා ගැනත් පරීක්ෂණ පවත්වනවා.‛යාළුවා', ‘යාළුවා‛ කියලා මොනතරම් අපි පසුපස ආවත් එල්ආර්සී එකේ ඉඩම් බෙදපු ආකාරය ගැන අපි අනිවාර්යයෙන් පරීක්ෂණ පවත්වනවා. ඒ වගේම ඔහු අපේ රටේ වංචනිකයන් ආරක්ෂා කර ගැනීමට දරන ප්‍රයත්නයන් ගැනද පරීක්ෂණ පවත්වනවා. රනිල්, සැප්තැම්බර් 21න් පස්සේ ඔබට යාළුවාගේ තරම තේරුම් යාවි.




 අපේ රටේ තරුණ පරම්පරාව දීර්ඝ කාලයක් තිස්සේ සමාජ පරිවර්තනයක් වෙනුවෙන් පොර බැදුවා. විටෙක සටන්කාමී ලෙසද, විටෙක මතවාදී ලෙසද පොර බැදුවා. නමුත් අවසන් ජයග්‍රහණය ලබන්න අසමත් වුණා. ඔබ කළ ඒ අරගලය ඇතුළේ තිබූ සෑම අපේක්ෂාවක්ම, පරමාර්ථයක්ම ඉටුකිරීමේ වගකීම අපි සැප්තැම්බර් 21න් පස්සේ බාර ගන්නවා. අපේ රටේ දේශපාලනයට එන්න තිබෙන දොරටු පැරැණි පාලකයන් විසින් වසා තිබුණා. දේපොළ පරම්පරාවෙන් පරම්පරාවට පවරනවා වගේ අපේ රටේ දේශපාලනයත් ගලා ගියේ පරම්පරාවෙන් පරම්පරාවට. ඒ පරම්පරාවේ දේශපාලනය ගැන තරුණ පරම්පරාවට තිබෙන්නේ විශාල පිළිකුළක්; හිරිකිතයක්. අලුත් පරම්පරාවට දේශපාලනය ගෞරවනීය තැනක්, වටිනාකමක් ඇති තැනක් බව පෙන්වීමට ජාතික ජන බලවේගයේ අපි අවශ්‍ය පරිවර්තන කරනවා.මෙහිදී රංගන ශිල්පී කලණ ගුණසේකර ජාතික ජන බලවේගයේ විධායක සභික එරංග ගුණසේකර යන මහත්වරුද අදහස් දැක්වූහ.