මහේස්ත්‍රාත්වරියගේ නියෝග මත රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීම සඳහා අධිකරණ සේවිකාවන් දෙදෙනකු අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදී හේවාවසම් මහත්මියගේ නිල මැදිරිය තුළ මුද්‍රා තබමින් තිබූ ගිනි අවියක් ඊයේ (4) පස්වරුවේ හදිසියේම පත්තු වී ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයේ ඇති නඩුවක නඩු භාණ්ඩයක් ලෙස නම්කර තිබූ ගිනි අවියක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීම සඳහා මහේස්ත්‍රාත්වරියගේ අත්සන යෙදීමෙන් අනතුරුව මුද්‍රා තබමින් සිටි අවස්ථාවේදී ගිනි අවිය ක්‍රියාත්මක වී ඇතැයි ද පොලිසිය පවසයි.
ගිනි අවිය පත්තුවීමට සුළු මොහොතකට පෙර අතිරේක මහේස්ත්‍රාත් මනෝදී හේවාවසම් මහත්මිය සිය විනිසුරු නිල මැදිරියෙන් පිටව ගොස් ඇති අතර ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් කිසිවකුටත් තුවාල වී නැතැයි පොලිසිය සඳහන් කරයි.
ගිනි අවියට මුද්‍රා තබමින් සිටි අධිකරණ සේවිකාවන් දෙදෙනා ගිනි අවිය පත්තුවීම හේතූවෙන් දැඩි කම්පනයකට පත්ව සිටින බව පවසන අනුරාධපුර පොලිසිය ගිනි අවිය ක්‍රියාත්මක වන අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරිය නිල මැදිරිය තුළ සිටියේ නම් යම් අනතුරක් වීමේ දැඩි අවදානමක් තිබූ බවද පොලිසිය සඳහන් කරයි.අධිකරණයේ ඇති නඩුවක නඩු භාණ්ඩයක් ලෙස නම් කරන කුමන හෝ වර්ගයේ ගිනි අවියක් අධිකරණයට බාරදීමට පෙර ගිනි අවිය තුළ ජීව උණ්ඩ තිබේ දැයි දැඩි පරීක්ෂාවට ලක් කිරීම පොලිසියේ අත්‍යවශ්‍ය රාජකාරියක් බව පැවසූ අනුරාධපුර අධිකරණ සංකීර්ණයේ උසස් අධිකරණ නිලධාරියෙක් එවැනි තත්වයක් තුළ මෙම ගිනි අවිය උසාවියට බාරදීමේදී පොලිසිය එසේ කටයුතු කර ඇද්ද යන්න පිළිබඳ බරපතළ සැකයක් මතුවන බවද සඳහන් කළේය.
මෙම සිද්ධිය වාර්තාවීමත් සමඟ අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිලිණ හේවාපතිරණ මහතාගේ නියෝග මත උසස් පොලිස් නිලධාරීන් ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කළේය.
මේ අතර අනුරාධපුරයේ උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේ ජීව උණ්ඩ හෝ වෙනත් පුපුරන ද්‍රව්‍ය අන්තර්ගතව ඇති කිසිදු ගිනි අවියක් අධිකරණයට බාර නොදිය යුතු බවට නියෝග පනවා තිබියදී මෙම ගිනි අවිය ජීව උණ්ඩ සහිතව අධිකරණයට භාර දුන්නේ කුමන හේතුවක් මතද යන්න ගැටලු සහගත බවත්, අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවකට අදාළව මෙම ගිනි අවිය අධිකරණයට භාරදී තිබූ පොලිස් ස්ථානාධිපතිවරයා සහ ඊට සම්බන්ධ සෙසු නිලධාරීන් සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේම නොපමාව විමර්ශන ආරම්භ කළ බවත්ය.
(උපාලි ආනන්ද)
0 Comments