anuradapura-spa-incident

සෝදිසි වරෙන්තුවක් ලබාගෙන පොලිස් කාන්තාවක සමග වැටලීමකට ආවැයි පවසා අනුරාධපුර සම්බාහන (ස්පා) මධ්‍යස්ථානයකට ඇතුළුවී එම ආයතනය සෝදිසි නොකර සිටීමට රුපියල් 2,000ක මුදලක් බලෙන් ලබාගත් කොස්තාපල්වරයකු ඊයේ (17) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය

පවසයි.මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, ඇලයාපත්තුව පොලිසියට අනුයුක්තව සේවය කරන 27 හැවිරිදි කොස්තාපල්වරයෙකි.


ඉකුත් 14වැනිදා රාත්‍රී 11.30 ට පමණ මෙම පොලිස් නිලධාරියා කාන්තාවක නංවාගෙන යතුරු පැදියකින් සම්බාහන මධ්‍යස්ථානයට පැමිණ පොලිස් නිල හැඳුනුම්පත පෙන්වා, සෝදිසි වරෙන්තුවක් ලබාගෙන තමන් කාන්තා නිලධාරිනියක සමග පැමිණි බව පවසා

වැටලීම නොකර සිටීමට රුපියල් 3,000ක මුදලක් ඉල්ලා සිටි බව පැමිණිල්ලේ සඳහන් වේ. සම්බාහන මධ්‍යස්ථානයේ සේවය සපයමින් සිටි කාන්තාවන් දෙදෙනකු බියට පත් වී රුපියල් 2,000ක මුදලක් කොස්තාපල්වරයාට දී ඇති බව පොලිසිය කියයි.


එලෙස මුදල් ලබාගෙන පිටව ගිය කොස්තාපල්වරයා යළිත් පසුදා රාත්‍රී 8.30ට පමණ තවත් පිරිමියකු සමග පැමිණ නොමිලේ සම්බාහන සේවය ඉල්ලා සිටි අවස්ථාවේ දී, ස්පා ආයතනයේ සේවයේ යෙදී සිටින කාන්තාවකගේ සැමියකු සමග

බහින් බස් වීමක් ඇති කර ගෙන තිබෙන බව ද පොලිසිය කියයි. පසුව එම සැමියා සැකකරුගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා රාජකාරී හැඳුනුම්පත ඉල්ලූ අවස්ථාවේ දී, එය උදුරාගෙන පෙර දිනයේ ලබාගත් රුපියල් 2,000ක මුදල ලබා දෙන්නේ නම් යළි හැඳුනුම්පත දෙන බව පවසා පොලිස් හැඳුනුම්පත රැගෙන පොලිස් ස්ථානයට පැමිණ පැමිණිල්ලක් කර තිබූ බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගැනුණ කොස්තාපල්වරයා අද (18) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.

 බී.ජී. චතුරංග