arundika-australia

 කාන්තාවක ඕස්ට්‍රේලියාවේ රැකියාවකට යවන බව කියා ලබාගත් රුපියල් ලක්ෂ විසිනවයක මුදලින් රුපියල් හාර ලක්ෂ අනූ දහසක මුදලක් නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතාගේ බැංකු ගිණුමකට බැර වී ඇතැයි කියන සිද්ධියකට අදාළව මීගමුව කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය පෙරේදා (9) ඔහුගෙන් පැය පහකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් ගෙන ඇත.


මන්ත්‍රීවරයාට කරන ලද දැනුම් දීමක් අනුව ඔහු එම විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පෙනී සිටියේය.

රාජ්‍ය ඇමතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයකු වශයෙන් කටයුතු කරන්නේ යැයි කියන අයෙක් සහ මීට සම්බන්ධ වූ තවත් අයෙක් මීගමුව කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම සිද්ධියට අදාළව මීට පෙර අත්අඩංගුවට ගනු ලැබූහ.


ඔවුන් අත්අඩංගුවට ගෙන කරන ලද විමර්ශන අනුව, එම කාන්තාව ඕස්ට්‍රේලියාවේ රැකියාවකට යවන බව පවසා රුපියල් ලක්ෂ දාහතක මුදලක් භාර ගෙන තිබූ බවට හෙළි වූ බව පොලිසිය සඳහන් කරයි.පොලිස් විමර්ශන වලින් සහ රාජ්‍ය ඇමැතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයා යැයි කියන පුද්ගලයාගෙන් ද ප්‍රශ්න කර හෙළි කරගත් තොරතුරු මත, රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා මීගමුව කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයට කැඳවා මෙසේ ප්‍රශ්න කර, ප්‍රකාශයක් සටහන් කර ගත්තේ යැයි පොලිස් ආරංචි මාර්ගවලින් දැනගැනීමට ඇත.




මෙම කාන්තාව කළ පැමිණිල්ලක් අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබිණි. ඕස්ට්‍රේලියාවේ රැකියාවකට යවන බව පවසා, සම්බන්ධිකරණ ලේකම්වරයා යැයි කියන පුද්ගලයා සහ අනෙක් පුද්ගලයා රුපියල් ලක්ෂ විසිනවයක මුදලක් ලබාගෙන තිබිණි යැයි ද පොලිසිය සඳහන් කළේය.මෙම සිද්ධියට අදාළව රාජ්‍ය ඇමැතිවරයාගෙන් ලබාගත් ප්‍රකාශය සහ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන කරුණු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු යොදාගෙන යයි.
 (ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය )