badulla-chamara-incident


ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළකරමින් මැතිවරණ නීති උල්ලංඝනය කළ කාන්තාවන් හත් දෙනකු ඇතුළු 34 දෙනකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගත්තැයි  කෝපයට පත් ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක බදුල්ල පොලිසියට කඩාවැදී පොලිස් නිලධාරීන්ට බැණ වැදී එම පිරිස නිදහස් කර ගැනීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

“රනිල්ට විතරයි – පුළුවන් ශ්‍රී ලංකා” යනුවෙන් සඳහන් කළ ටී ෂර්ට් පැළඳ බදුල්ල බස් නැවතුම්පළ ඉදිරිපිට මැතිවරණ නීති උල්ලංඝනය වන ආකාරයෙන් හැසිරුණු පිරිසක් ඊයේ (05) බදුල්ල මූලස්ථාන පොලීසිය වෙත රැගෙන විත් තිබූ අතර ඒ ගැන ආරංචි වීමෙන්  චාමර සම්පත් දසනායක නීතිය කාටත් එකට කරන ලෙස කියමින් මෙම පිරිස නිදහස් කරන ලෙසට පොලිසියට බැණ වැදී බලපෑම් කර ඇත.

 රාජ්‍ය ඇමැතිවරයා බදුල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාද හමුවී සාකච්ඡා කර තිබෙන බවත් පසුව සහකාර කොමසාරිස්වරයා එම පිරිස මුදාහරින ලෙස උපදෙස් දී ඇති බවත් වාර්තා විය.



මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්තිපති නීතීඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ,බදුල්ල නගරයේ මැතිවරණ නීති උල්ලංඝනය වන ආකාරයෙන් හැසිරුණු පිරිසක් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට අනුයුක්ත කර ඇති පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු විසින් සිදු කල විමර්ශනයකට අනුව බදුල්ල පොලීසියට රැගෙන විත් ඇති නමුත්, රාජ්‍ය අමාත්‍යවරයා බදුල්ල පොලීසියට පැමිණ කලහකාරී ලෙස සිදුකල ප්‍රකාශයන් සම්බන්ධයෙන් වාර්තා වී නොමැති බවය.