මෙරට ළමයින්ගෙන් තුනෙන් එකකට මන්දපෝෂණ ලක්ෂණ පෙන්නුම් කරන බව ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩිවෙමින් පවතින්නේද යන්න පිළිබඳ පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව අනුව අනාවරණය වී තිබේ.අදාළ වාර්තාව කාරක සභා සභාපති රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා වෙනුවට කමිටු සාමාජික රෝහිණී විජේරත්න මහත්මිය ඉදිරිපත් කරමින් මේ බව සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වන විට ලක්ෂ 17ක් වන පාසල් ප්‍රාථමික දරුවන් සඳහා සහ පූර්ව ළමා අවධි සංවර්ධන මධ්‍යස්ථානවල ළමයින්ට ආහාර ලබා දෙන බවත් ඉදිරියේදී 08 ශ්‍රේණියෙන් පහළ දරුවන් සඳහා ආහාර වේලක් ලබා දීමට අයවැය හරහා යෝජනා කරන බවත් ඊට ප්‍රතිචාර දක්වමින් සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසීය.
2023 ජුනි මස පෝෂණ මාස තක්සේරුවෙන් පසු, දිවයින පුරා මහජන සෞඛ්‍ය වින්නඹු මාතාවන් (PHM) වෙත ලියාපදිංචි වී සිටි වයස අවුරුදු පහට අඩු ළමයින්ගෙන් 96.5%ක පිරිසක් ඇගයීමට ලක්කර ඇත. ඒ අනුව අඩුබර (වයසට අඩු බර) ළමයින් 17.1%ක්, කෘශ වූ (දිගට අඩු බර) ළමයින් 10%ක් සහ මිටි වීම (අඩු දිග/උස, වයස සඳහා) ලක්වූ ළමයින් 10.3%ක් හඳුනාගෙන ඇති බව මෙම වාර්තාවෙන් අනාවරණය වී තිබේ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී විජේරත්න - මන්දපෝෂණය සම්බන්ධයෙන් යුනිසෙෆ් වාර්තාව මේ සභාවේ ඉදිරිපත් කිරීමේදී කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිතුමා එය වැරදියි කිව්වා. ඒ පිළිබඳ කථානායකතුමාගෙන් කළ ඉල්ලීම මත තමයි මේ මන්දපෝෂණ වාර්තාව අද ඉදිරිපත් කරන්නේ. මේක නිකම්ම නිකන් වාර්තාවක් ලෙස පැත්තකින් තියන්න එපා. අපේ රටේ දරුවන්ගෙන් තුනෙන් එකක් මන්දපෝෂණ ලක්ෂණ පෙන්වනවා කියන එක මේ වාර්තාවේ තියෙනවා. ඒකට එක හේතුවක් කියන්නේ ආහාර සුරක්ෂිතතාවයක් නැතිකම. ඒ කියන්නේ පෝෂණීය ආහාර සඳහා ළඟා වෙන්න හැකියාවක් නෑ කියන එක අර්බුද නිසා ආර්ථික බිඳ වැටීම නිසා කියන එක.
තුනෙන් එකක් මේ රටේ දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙනවා කියන්නේ සිංහලෙන් කිව්වොත් පාණ්ඩුව තියෙන ජාතියක් තමයි මේ රටේ ඉතිරි වෙන්නේ. වැඩිපුරම හමුවන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්. ඒ නිසා මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න. මොන ජාතියේද කියන එක නෙවෙයි, අපේ රටේ මන්දපෝෂණය තියෙන රටක් නම් ඉස්සරහට ඉදිරිපත් වෙන්නේ. මේක මේ රටේ මැතිවරණයක් තියෙන වෙලාවක්. මේ රටේ සියලුම අපේක්ෂකයෝ ඡන්දය ඉල්ලන තමන්ගේ ප්රමුඛ අවධානය යොමු කරන්න. දරුවන්ගේ මන්දපෝෂණය වළක්වන්න තමන් ගේන ප්‍රතිපත්ති මොනවාද කියලා ඉදිර්පත් කරන්න. ' මේ වාර්තාවේ කෙටිකාලීන යෝජනාවක් විදියට තියෙනවා දරුවන්ට පෝෂණීය ආහාර වේලක් දෙන්න කියන එක.
සභානායක, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් - යුනිසෙෆ් වාර්තාවක් මගින් ඉදිරිපත් කළ කරුණු සලකා බලලා තමයි අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විට ලක්ෂ 17ක ප්‍රාථමික අංශ දරුවන්ට ආහාර වේලක් දෙන්නේ.
ඒ වැඩපිළිවෙළ අපි ලබන වාර්ෂයේ අයවැයට ඉදිරිපත් කිර්මට යෝජනා කරලා තියෙනවා.6,7,8 ඉහළ පන්තිවලටත්, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය හරහා පූර්ව ළමා අවධි සංවර්ධනය සඳහා වන්නා වූ පාසල් සඳහාත් දීර්ඝ කිරීම සඳහා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි විජේරත්න - මෙතුමාගේ යෝජනාව මම අගය කරනවා. විශේෂයෙන්ම අවුරුදු 18 අඩු සියලුදෙනාටම මේ තත්ත්වට විසඳුමක් දෙන්න වෙනවා. 08 ශ්‍රේණියෙන් පහළ නෙවෙයි මේක දීර්ඝ කරන්න ප්‍රමුඛතාවය ලෙස සලකන්න. අනිත් එක වෙළඳ දැන්වීම්. මේකේ එක හේතුවක් විදියට දක්වලා තියෙනවා නොදැනුවත්කම සහ මුළාව කියලා. ළමයින්ගේ ආහාර සම්බන්ධව යන වෙළඳ දැන්වීම් සම්බන්ධයෙන් නියාමනයක් අවශයයි. ඒවායේ බොරු දේවල් තියෙන්නේ. ගොඩක් ඒවගේ පිෂ්ටය විතරයි තියෙන්නේ. මේ සම්බන්ධයෙන් නියාමනයත් ඉතා වැදගත් කියලා අවධාරණය කරනවා.
(දිනේෂ් සමරකෝන්)
0 Comments