Presidential-candidate-Mana-broke-the-voting-rules

ජනාධිපති ධුර අපේක්ෂකයකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ රැස්වීම් කිහිපයක් ඇමැතීම සම්බන්ධයෙන් මැතිවරණ කොම්ෂන් සභාව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. ජනාධිපති අපේක්ෂකයකු ලෙස සිටියදී වෙනත් අපේක්ෂකයකුගේ මැතිවරණ වේදිකාවට ගොඩවීම මැතිවරණ නීතිය කඩකිරීමක් වන හෙයින් ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දැනුම් දෙමින් මානගේ මහතාට ලිපියක් යොමු කළ බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.




ප්‍රේමසිරි මානගේ මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා තංගල්ල මාතර සහ ඒ අවට ප්‍රදේශවල පැවැති රැස්වීම් ගණනාවකටම සහභාගි වී ඇති බවත් සමහර රැස්වීම් අමතා ඇති බවත් වාර්තාවේ.මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතාට තොරතුරු අනාවරණයවීමෙන් පසු විමර්ශනයක් පවත්වන ලෙස නිලධාරීන්ට උපදෙස් දී ඇත.


මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ කිසිම ජනාධිපති අපේක්ෂකයකුට වෙනත් අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීමට නීතියෙන් ඉඩක් නැති බවයි.වෙනත් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරන ජනාධිපති අපේක්ෂකයන්ට ගුවන් කාලය ලබාදීමේදී ද යම් තීරණයක් ගැනීමට ඉදිරියේදී සිදුවන බව ඔහු සඳහන් කළේය.




මානගේ මහතා 2004 2010 අතර කාලයේදී මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය.මේ සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂක ප්‍රේමසිරි මානගේ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ සජිත් ප්‍රේමදාස මහතාගේ රැස්වීම් අසලින් ගමන් ගත් අවස්ථාවේදී ජනතාවගෙන් කෙරුණු ඉල්ලීම් අනුව තමා එම රැලිවලදී ජනතාව වෙනුවෙන් අදහස් පළ කළ බවයි.අපේක්ෂකයන් තිදෙනකුට මනාප ලකුණු කිරීමට මැතිවරණ නීතිය අනුව හැකියාව තිබෙන හෙයින් ඒ අනුව යමින් තමාට පළමු මනාපය දී ඊට පසු දෙවැනි මනාපය වශයෙන් අපේක්ෂකයකු තෝරා ගන්නා ලෙස එහිදී ජනතාව දැනුවත් කළ බව ද ඔහු කීවේය.මැතිවරණ නීතියේ ඇති දෙයක් ගැන දැනුවත් කළා මිස වෙනත් නීති විරෝධී ක්‍රියාවක් නොකළ බව ද මානගේ මහතා ප්‍රකාශ කළේය.