හිටපු අගමැතිනී ෂෙයික් හසීනා බංග්ලාදේශයට පිටුවහල් කරනවාද නැද්ද යන්න තීරණය කිරීමේ අයිතිය ඉන්දීය රජය සතු බවත් හසීනා බංග්ලාදේශයට පිටුවහල් කරන ලෙස අන්තර් වාර රජය ඉන්දියාවෙන් ඉල්ලීමක් කිරීමට ඉඩ තිබෙන බවත් එරට විදේශ කටයුතු උපදේශක එම්.ඞී. තවුහිද් හොසේන් මහතා පෙරේදා (02) ප්‍රකාශ කළේය.



අධිකරණ නියෝගයක් දුනහොත් ෂෙයික් හසීනා නැවත බංග්ලාදේශයට ගෙන්වා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම ඉන්දියාවෙන් ඉල්ලීමක් කිරීමට අන්තර්වාර රජය සූදානම් බව ද ඔහු පැවැසුවේය. ෂෙයික් හසීනා බංග්ලාදේශයට ගෙන එමින් නීතිය ඉදිරියට පමුණුවීම සඳහා හැකි සෑම දෙයක්ම කරන බව ද හොසේන් මහතා එහිදී ප්‍රකාශ කළේය.ඒ සඳහා ඉන්දියාව සහ බංග්ලාදේශය අතර අවබෝධතා ගිවිසුමක් තිබෙන බවත් ඒ සඳහා නීතිමය ක්‍රියාදාමයක් අනුගමනය කළ යුතු බවත් විදේශ කටයුතු උපදේශකවරයා පැවැසුවේය.


බංග්ලාදේශ අරගලයෙන් පසුව රටේ වත්මන් තත්වය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

කෙසේ නමුත් බංග්ලාදේශයේ අරගලය ඉන්දීය මාධ්‍ය අතිශයෝක්තියකින් වාර්තා කළ බවත් බටහිර මාධ්‍ය එවැනි ක්‍රමයක් අනුගමනය නොකළ බවත් ඔහු පැවැසුවේය.එහිදී ෂෙයික් හසීනා ඉන්දියාවේ නැවැතී සිටින ස්ථානය පිළිබඳ අන්තර්වාර රජය දැනුවත්දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හොසේන් ප්‍රකාශ කර ඇත්තේ ඒ පිළිබඳ ඉන්දියාවෙන් විමසීම වඩාත් යෝග්‍ය බවයි.හසීනා ඉන්දියාවේ රැඳී සිටීමේ නීත්‍යනුකූලභාවය පිළිබඳ ප්‍රශ්නයක් මතු කරමින් හසීනාගේ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය අවලංගු කිරීමට ද අන්තර්වාර රජය පසුගියදා කටයුතු කළේය.
(විමුක්ති එස්. රුද්‍රිගු)