Summons-to-Hirunika-for-contempt-of-court

ජාත්‍යන්තර කාන්තා දිනය පිළිබඳව පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගයක් විවේචනය කිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනුකර ඇති පැමිණිල්ල යළි කැඳවන දෙසැම්බර් මස 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටිය යුතුයැයි අභියාචනාධිකරණය විසින් ඊයේ (11 වැනිදා) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට නියෝග කරනු ලැබීය.



ඌව පළාත් හිටපු ආණ්ඩුකාරවරයාගේ පුතා වන හාඩි ජමාල්ඩින් ගොනුකර තිබෙන පැමිණිල්ලක් ඊයේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී මෙම නඩුකරයට අදාළව ප්‍රති විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබාදෙන ලෙස වග උත්තරකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාළ ප්‍රතිවිරෝධතා නොවැම්බර් මස 29 වැනිදාට පෙර ගොනු කරන ලෙස නියෝග කළ විනිසුරු මඩුල්ල නඩුකරය නැවත දෙසැම්බර් මස 04 වැනි දා කැඳවන ලෙසත් එදින වග උත්තරකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවත් නියෝග කළේය.



පැමිණිලිකරු කියා සිටින්නේ කාන්තාවකට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇපමත මුදා හැරීමෙන් අනතුරුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එම නියෝගය විවේචනය කරමින් ජාත්‍යන්තර කාන්තා දිනය සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවක දී අදහස් පළකළ බවයි. මේ තුළින් ඇය අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවත් ඒ පිළිබඳ විභාගයක් පවත්වා ඇයට සුදුසු දඬුවම් පමුණුවන ලෙසත් ඉල්ලා මෙම පැමිණිල්ල ගොනු කර තිබේ.
(කේ. එස්. උදය කුමාර)