Sri-Lankans-are-stuck-in-Lebanon-amid-Israeli-attacks

 ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රහාර එල්ල කළ ලෙඛනනයේ සයිදා ප්‍රදේශයේ සිරවී සිටි ලාංකිකයන් සිව් දෙනකු ඊයේ (24) බේරුට් නගරයේ ශ්‍රී ලාංකික තානාපති කාර්යාලය වෙත පැමිණි බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීර මහතා ප්‍රකාශ කළේය.ලෙබනනයේ ඊශ්‍රායල දේශ සීමාව ආසන්නයේ ප්‍රදේශයක තවත් ලාංකිකයන් දෙදෙනකු සිරවී සිටින බවත් ඔවුන් දෙදෙනා ඊයේ (24) ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග දුරකතනයෙන් සම්බන්ධ වූ බවත් තානාපතිවරයා පැවැසුවේය. එම ශ්‍රී ලාංකිකයන් දෙදෙනාට කිසිදු අනතුරක් නොමැති බවත් අධික මාර්ග තදබදය හේතුවෙන් ඔවුන් දෙදෙනා වෙත ළඟාවීම අපහසු වී ඇති බවත් ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීර මහතා ප්‍රකාශ කළේය.




මෙතෙක් කිසිදු ලාංකිකයකුට ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් අනතුරක් සිදුව නොමැති බව ද තානාපතිවරයා පැවැසුවේය.ඈත පළාත්වල සංචාරය නොකරන ලෙසත්, කණ්ඩායම් එක්රැස් වන ස්ථානවලට නොයනලෙස, රැකියා ස්ථානයෙන් පිටතට නොයන  ලෙසත් ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දී තිබෙන බව තානාපතිවරයා පැවැසුවේය.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පෙරේදා (23) ලෙබනනය පුරා පිහිටි හිස්බුල්ලා ඉලක්ක 1,600කට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර ඉන් 500 දෙනකු මිය ගොස් 1,600 දෙනෙක් තුවාල ලැබූහ. එසේම මෙම ප්‍රහාරවලින් ලෙබනන වැසියන් 125,000 ක පිරිසක් අවතැන් වී ඇතැයි ද ලෙබනන බලධාරීහු පැවැසූහ. මියගිය පිරිස අතර ළමයි දුසිම් ගණනක් සිටින බව තහවුරු වී ඇති නමුත් එම ප්‍රහාර වලින් මියගිය හෝ තුවාල ලැබූ හෝ හිස්බුල්ලා සටන්කාමීන් ගණන තහවුරු වී නැතැයි ලෙබනන බලධාරීහු ප්‍රකාශ කළහ.




ප්‍රහාර මාලාව පිළිබඳ ඊශ්‍රායල ආරක්ෂක හමුදාව නිල ප්‍රකාශයක් නිකුත් කළ අතර එහි සඳහන්ව තිබුණේ “ කෲස් මිසයිල”, රොකට් සහ පුපුරන යුද ශිර්ෂ ඇතුළුව හිස්බුල්ලා සංවිධානයේ අවි ආයුධ ගබඩා කර තිබූ සාමාන්‍ය ලෙබනන වැසියන්ගේ නිවාස ඇතුළුව ඉලක්ක 1,600 ක් වෙත ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රහාර එල්ල කළ බවයි.  ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රහාර එල්ල කිරීමට පෙර ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වූ ප්‍රදේශවල ජනතාවට නිවෙස්වලින් පිටව යන ලෙස අනතුරු අඟවමින් ඊශ්‍රායලයෙන් කෙටි පණිවුඩ ලැබී ඇති බවත් නාඳුනන දුරකතන අංකවලින් එම ප්‍රදේශවල ජනතාවට දුරකතන ඇමතුම් ලැබී ඇති බවත් ලෙබනන බලධාරීහු ප්‍රකාශ කළහ. ඒ සමග ලෙබනන වැසියන් නිවාසවලින් එළියට පැන දිවි බේරාගැනීමට උත්සාහ දරා ඇතැයි ලෙබනන බලධාරීහු පැවැසූහ.


එසේම නිවාසවලින් පිටවන ලෙස අනතුරු ඇඟවීම නිකුත් කිරීම සඳහා ඊශ්‍රායල හැකර්කරුවන් පිරිසක් ලෙබනන රේඩියෝ නාලිකාවට අනවසරයෙන් ඇතුළු වී වහාම නිවෙස්වලින් පිටවන ලෙසට අනතුරු ඇඟවීමක් එම නාළිකාව ඔස්සේ විකාශය කර ඇති බවද පැවැසෙයි.මෙම දරුණු ප්‍රහාර මාලාවට පසුව නැවත වරක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව බේරුට් නගරයට ප්‍රහාර එල්ල කළ අතර ඒ සමග ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණීමට නියමිතව තිබූ ගුවන් ගමන් 40 ක්පමණ අවලංගු කිරීමට ද එම ගුවන් සේවාවන් ඊයේ (24) පෙරවරුවේ තීරණය කළේය.