ජනාධිපතිවරණ උණුසුම අස්සේ කොළඹ වාණිජ අගනගරයේ ඇති ආරක්ෂිත කලාපයකින් සමූහ මිනීවළක් මතු විය. ඉදිරි ජනාධිපතිවරයා කවුරුන්ඒදැයි හිතන අල්ල _පනල්ලේ ඇටකටු ගැන හිතන්නට තරම් උනන්දුවක් ජනතාව තුළ මෝදු වන බව දක්නට නොවීය.  එහෙත් මීට පෙර සමූහ මිනී වළවල් හාරා ඡන්දය දිනූ යුගයන්ද විය. අද ඇටකටු යනු එතරම් “මාර්කට් කළ හැකි” දේ නොවේ. ඉඟුරුකඩේ මංසන්ධියේ කොළඹ වරාය දක්වා දිවෙන අලුතින් කුලුනු මඟින් ඉදිවන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා පොළොව කණිමින් සිටින අතර තුර මිනිස් අස්ථි කොටස් හමුවිණි.  ඒ තැන කොළඹ වරායේ පැරැණි ලේකම් කාර්යාල පරිශ්‍රයේය. දිනය 2024 ජූලි මස 13 වැනිදාය.

ඒ සම්බන්ධව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු කොළඹ අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ විනිසුරුවරයා ඉදිරියේ 2024 සැප්තැම්බර් මස 05 වැනිදා කැණීමේ කටයුතු ආරම්භ කරන ලදී. දෙවසරක් ගෙවෙන තැන මෙරටින් හමු වූ දෙවැනි සමූහ සුසානය මෙය වේ. මුලතිවු කොක්කුතොඩුවායි මහා විද්‍යාලයේ සිට කෝකිලායි දෙසට මීටර් 200ක් පමණ දුරකින් 2023 ජුනි මස අගදී අහම්බයකින් හමු වූ කොක්කුතොඩුවායි සමූහ මිනීවළ මීට පෙර ඒ ආසන්නයේම තිබී හමු වූ නිසාවෙන්ය.  එහි කැණීම්වලින් පනස් දෙදෙනකුට (52) අයත් අස්ථි කොටස් ගොඩ ගැනීමෙන් අනතුරුව අධිකරණ නියෝග මත 2024 ජූලි මස 15 වැනිදා වසා දැමිණි.

සමූහ මිනී වළක් වසා දමන්නට අණ ලැබෙන අවස්ථාවක තවත් තැනක මිනී වළක් මතුවීම සුළුපටුද? එක් එක් කාලවල විවිධ හේතු මත මේ පොළොවේ බොහෝ වළලා ඇති මිනිස් අපගේ සිරුරු කොතරම් නම් රහස් පොළොවට යටකරගෙන ඇත්ද? උතුරේ වේවා දකුණේ වේවා මේ මියගිය මිනිසුන්ගේ ඒවා බව අමතක කළ යුතුද? වළලන්නට අවැසි අය රහසේම සතපන්නට උතුර  දකුණ කියා වෙනසක් නැත.

ජාති, ආගම් කියා අමුත්තක් නැත. අවශ්‍ය ඉහළින් එන අණක් පමණි. මේ මිනී වළවල් අහම්බෙන් මතු වුවද මේ මරණ අහම්බයක් නොවන බව මතක තබා ගත යුතුය.

කොළඹ වරාය මිනී වළේ පළමු අදියරේ කැණීම් කටයුතු දින අටක් අවෑමෙන් පසු කල් දමන ලදී. මේ දින අටේ කැණීමෙන් අවම වශයෙන් පුද්ගලයන් දෙදෙනකුට අයිති ඇටසැකිලි මතු කරගෙන තිබිණි. මුලින්ම කැණීම් පටන් ගැනුණේ සැප්තැම්බර් මස 5 වැනිදාය. පස්වැනිදායින් ඇරැඹි කැණීම් සැප්තැම්බර් මස 13 වැනිදා දහවල් තාවකාලිකව නතර කරනු ලැබුවේ නැවත සැප්තැම්බර් 25 වැනිදා ආරම්භ කරන පොරොන්දුව මතය.

මේ කැණීම් නතර කරන විට අඩුම වශයෙන්  තවත් හිස්කබල් හතරක් පමණ මතු කරගෙන තිබිණි.  දැනට මතු කරගත් මිනිස් ඇටසැකිලි දෙකෙන් එක සැකිල්ලක හිස්කබල දැකගන්නට නොමැති බව පැවැසේ. කැණීම් මඟින් ගොඩ ගත් කුඩා අස්ථි කොටස් මේ දිනවල කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය තුළ ගබඩා කර ඇත.

මෑත කාලයේ මෙරටින් හමු වූ සමූහ මිනී වළවල්හි කැණීම් කරනුයේ පුරාවිදයා මහාචාර්ය රාජ් සෝමදේව මෙහිද කැණීම් කටයුතු කරන අතර ඔහුට විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සුනිල් හේවගේද එක් වී ඇත. මිනී වළක කැණීම් කළ සැණින් ඒ කුමන කාලයට අයත් දැයි නිශ්චිතවම කිව නොහැකිය.

“මේක හරිම සංකීර්ණ ස්ථානයක්. දෙපාරක් පාරවල් දාලා තියෙනවා. බෝක්කු හදලා තියෙනවා.  සංවර්ධනයට ලක්වෙච්ච ප්‍රදේශයක්. ඒ නිසා මෙතන සංකීර්ණ ක්‍රියාවලියක් වෙලා තියෙනවා.” මහාචාර්ය රාජ් සෝමදේව මාධ්‍යයට කියූ ප්‍රසිද්ධ කතාව එබඳුය.

“අපිට කාලයක් තහවුරු කරන යමක් ලැබෙන තුරු කාලයක් ගැන මොනවත් කියන්න බැහැ.” මහාචාර්යවරයාට දැනට කිව හැකි උපරිමය එයයි.

උතුරේ මිනී වළක් හමුවූ සැණින් ඔළු පිරෙන්නේ කවරාකාර සිතුවිලිවලින්ද යන්න අමුතුවෙන් කිව යුතු නැත. දකුණේ එවැන්නක් හමු වූ සැණින් මතකය දිවෙන්නේ ආසන්නම මතක ගබඩාව වන 88/ 89 කාලවලටය. මෙහිද එහි ලොකු වෙනසක් නොවීය.

මේ තැනේ ඉතිහාසය සෙවීමේදී මෙහි නාවික හමුදා කඳවුරක් තිබූ බව සිහිකැඳවයි. කඳවුරක් යනු බොහෝ කතා මවන තැනකි.

“වරාය පොලිසිය කියන එක 88/89  කාලයේ නිසා යුද්ධ කාලේ සැකකාරයන් රඳවා ගැනීමේ තැනක් හැටියට ප්‍රසිද්ධියට පත්වෙලා තිබුණා.  ඔය කාරණය උඩ මේ හමුවන ඇටසැකිලි 88/89 ට අදාළ ඒවා විය හැකියි.”

මාධ්‍යයට එහෙම කියන්නේ අතුරුදන් වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බි්‍රටෝ ප්‍රනාන්දුය.  එහිදී ඔහු පොදු චෝදනාවක් මතුකරනුයේ රජයන්ට සත්‍ය සොයා ගැනීමේ දේශපාලන වුවමනාවක් නැති නිසාම සමූහ මිනී වළවල්හි පරීක්ෂණ ඉදිරියට නොඇදෙන බවය.

සමූහ මිනී වළවල් මතුවීම මෙරටට අරුමයක් නොවේ. ඒ නිසාම මෙවැනි පුවත්ද දැන් සමාජයට අහම්බයකට එහා නොයන තැනට සේන්දු වී ඇත.

මේ හමුවනුයේ මෙරටින් හමු වූ විසි දෙවැනි (22) සමූහ මිනීවළය. අතුරුදන්  වූවන්ගේ පවුල් එකතුව මේ සම්බන්ධයෙන් දරනුයේද සැක සංකාය.

ඒ, මීට පෙර හමු වූ සමූහ මිනී වළවල් වසා දැමුණේ රහස් ඉතිරි කරමින් බැවිනි.

“මාතලේ මිනී වළෙන් හමු වූ ඇටකටු නිසි කාබන් පරීක්ෂණ යටතේ සිදු වුණා කියලා අපි හිතන්නේ නැහැ. ඒ නිසා ඒ ඕනෑම තැනකට රජයට වුවමනා දේශපාලනය අනුව තීන්දු වෙනස් කරන්න පුළුවන් කියන විශ්වාසයෙන් අපි ඉන්නවා.”

“මේ ඇටකටුවල තියෙන DNA සමඟ සසඳන්න පුළුවන් මවුපියන්ගේ DNA බැංකුවක් නැහැ. ඒ නිසා ඒ මිනී කාගෙද කියලා අඳුරගන්න උපකාරයක් නෑ. අනිත් එක ආණ්ඩුව දිරිමත් කරන්නෙ නෑ. මේ කාරණා උඩ මීට කලින් කළ පරීක්ෂණය අසාර්ථකයි.”

අතුරුදන් වූවන්ගේ පවුල් එකතුව නඟන එම තර්කය හරි ප්‍රබලය.

සමූහ ඝාතනයන් අහම්බෙකින් මතුවන මුත් ඉතා ඕනෑකමින් නැවත වසා දමනු ලැබේ. ඒවා අහඹු වන්නේ අහම්බකාරක නිසාමය.  සූරියකන්ද සුසානය මතු වන්නේ කුලුනක් ඉදිකිරීමට යෑමේදීය.

මාතලේ සුසානය, මාතලේ රෝහලේ ඉදිකිරීමක් අතරතුරේ මතු විය.  යාපනය ‍ෙදාරේඅප්පා ක්‍රීඩාංගණය වැඩිදියුණු කිරීමේදී එම සමූහ මිනීවළ එළියට ආවේය.  මන්නාරමේ එක් සමූහ ඝාතනයක් ගොඩ එන්නේ සතොස ගොඩනැඟිල්ලක ඉදිකිරීම් කටයුතු අතරේය.  මෙවර මතුවීමත් එවැන්නකි. පාරක් ඉදිකිරීමේදීය.

මෙරටින් වරින් වර හමුවූ සමූහ සුසාන සහ ඒවායේ කැණීම්වල අසාර්ථකත්වය සම්බන්ධයෙන් සකස් කෙරුණු වාර්තාවක් ගිය වසරේ ජුනි 22 වැනිදා එළිදැක්විණි.  එය සංවිධානය කර තිබුණේ මානව හිමිකම් සහ සංවර්ධනය සඳහා එන මධ්‍යස්ථානය (CHRD) අතුරුදන්වූවන්ගේ පවුල්වල එකතුව (FOD) ශ්‍රී  ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදීයෝ (JDS) හා යුක්තිය සඳහා එන ජත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) විසින්ය. මෙම වාර්තාවේ  නම වුණේ “ශ්‍රී  ලංකාවේ සමූහ සුසාන හා අසාර්ථක කැණීම්” ලෙසය.  මෙතෙක් හමුවී ඇති සමූහ සුසාන 22න් 20ක් පිළිබඳව මෙම වාර්තාවෙන් විස්තර කර තිබෙන අතර ඒවා දිස්ත්‍රික්ක 11ක් පුරා විසිරී පැතිරී ඇත.

අසාර්ථක කැණීම්

සමූහ සුසානයක් හමුවීමෙන් පසුව කැණීම් ආරම්භයට ලොකු සමාජ වටිනාකමක් ඇති කළද ඉන්පසු සියල්ල සිදුවන්නේ දේශපාලනික වුවමනාවන් මතය. කැණීම් අසාර්ථක වන විට එහි සත්‍ය අනාවරණය කර ගැනීමද දුෂ්කරය. ඉහත වාර්තාව ඒවායේ අඩුපාඩු විධිමත්ව පෙන්වා දී ඇත.

ගොඩ ගන්නා ලද සිරුරු අයත් පුද්ගලයන්ගේ ඝාතනයන්ට වගකිවයුත්තන්ට නඩු පවරා වරදකරුවන් කිරීම තබා වින්දිතයන් හඳුනා ගැනීමට හෝ මඟ පාදා තිබෙන්නේ ඉතා සුළුවෙනි.

මෙම කැණීම් අසාර්ථක වීමට එක් ප්‍රධාන හේතුවක් ලෙස අධ්‍යයන වාර්තාව පෙන්වා දෙන්නේ පරිශ්‍ර කළමනාකරණයේ ගැටලුවයි. එමෙන්ම මෙම සුසාන භූමිවලට ලබාදෙන ආරක්ෂාවේ අඩුව නිසාද සාක්ෂි විනාශ වන බව පැවැසේ.  සූරියකන්ද එයට නිදසුනක් බව ඔවුන්ගේ මතයයි.

1994 ජනවාරි 03දා කඩිමුඩියේ එහි කැණීම් ආරම්භ කළ මුත් ඒ සඳහා යොදාගෙන තිබුණේ මෙවැනි කාර්යයන් සඳහා පුහුණු ශ්‍රමිකයන් නොවේ. එම නුපුහුණුව නිසාම එම කැණීම් සඳහා බුල්ඩෝසර් සහ ගල්පොරෝ යොදාගෙන තිබිණි.

ඒ හේතුවෙන් බොහෝ මෘත ශේෂ විනාශ වී ඇට සැකිලි මිශ්‍ර වී ඇත.

සූරියකන්ද මිනීවළ කැණීම සම්පූර්ණයෙන්ම දේශපාලන ව්‍යාපෘතියක් වූ අතර අවශ්‍ය ආකාරයට නොවන තැන නිලධාරීන් මාරු කිරීමද එහිදී දක්නට ලැබිණි. මාතලේ සහ කළුමණ්ඩිකුඩි කැණීම අතරමඟ නතර වුණේ දේශපාලන අත පෙවීම් මතමය.

අදාළ ක්ෂේත්‍රවලින් එන බලපෑම්ද මෙවැනි පරීක්ෂණ අඩුවීමට බලපායි. 2000 වසරේදී විත්තිකරුවන් වූ හමුදා නිලධාරීන් සිය ආරක්ෂාව පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමකින් පසු උතුරේ නඩු කොළඹට මාරු කරගෙන ඇත. එවිට සිදුවන්නේ  පෙත්සම්කරුවන්ගේ ආරක්ෂාව බරපතළ විදිහට අවභාවිත වීම බව පැහැදිලි වී ඇත.

චෙම්මනි සමූහ මිනී වළ



චෙම්මනි සමූහ මිනී වළේ නඩුව එවැන්නකි. එකල උතුරේ අයට කොළඹට, නඩුවට ඒමට පවා හමුදාවෙන් අවසර ගත යුතුව තිබිණි. එවැනි වටපිටාවක සාධාරණයක් සෙවීම සාධාරණ වන්නේද?

තාක්ෂණික ගැටලු හේතුවෙන්ද මෙම කැණීම් බොහොමයක් අසාර්ථක වී ඇත. කැණීම් මඟින් මතුකර ගන්නා ඇටසැකිලි කොටස් “කාල නිර්ණ” සහ වෙනත් පරීක්ෂණ සඳහා විදෙස් රටවලට යැවීම හරහා ප්‍රතිඵල බෙහෙවින්ම ප්‍රමාද වීමෙන් ඒ කෙරෙහි ඇති උනන්දුව බින්දුවටම වැටෙන අතර ඒ එන ඇතැම් ප්‍රතිඵලද මෙරට ප්‍රතිඵල සමඟ අහසට පොළොව මෙන් තත්ත්වයක් පෙන්නුම් කරන  අවස්ථාද පවතී. 2018දී හමුවූ මන්නාරම සමූහ මිනී වළෙහි සිරුරු කොටස් පරීක්ෂා කටයුතු සඳහා “ෆ්ලොරිඩා” වෙත යවා ඇති අතර එම පරීක්ෂණයේ වාර්තාවේ දක්වා ඇත්තේ එම සිරුරු 15 -18 සියවස්වලට අයත් බවය.

එය කිසිසේත්ම පිළිගත හැකි දත්තයන් නොවූයෙන් එම කැණීම් සිදුවන අවස්ථාවේදී අතුරුදන් වූ සිය පුත්‍රයා එම සමූහ මිනී වළේ ඇත්දැයි සැකහැර දැනගැනීමට පැමිණි අයෙක් කියා තිබුණේ “එම මිනී වළේ රතු පාට කමිසයක්, බිස්කට් පැකට් එකක් රුපියල් දෙසීයේ කොළයක් තිබූ බවය” ඒ භාණ්ඩ 15-18 සියවස්වල නොවන බව සුපැහැදිලිය.

මාතලේ සමූහ මිනී වළ පිළිබඳව මහාචාර්ය රාජ් සෝමදේවගේ මතය අසූව අග භාගයේ  ඒවා වන බවය. ෆ්ලොරිඩාහි වාර්තාව කීවේ එය 1950 දශකයට අයත් බවය. මෙවැනි සිද්ධි හරහා මෙම පරීක්ෂණ ඉබේටම යට යනු පෙනේ. මාතලේ නඩුව අවසන් වුණේම මෙම සිරුරු කොටස් 1950 දශකයේ බවට ෆ්ලොරිඩා හි දත්ත මත පදනම්වය. ඒ වන විට ගෙන තිබූ දිවුරුම් ප්‍රකාශ පිළිබඳ කිසිදු පරීක්ෂණයක් නොවීය.

එදා එම නඩුව සම්බන්ධයෙන් අත්දැකීම් කතා කර තිබූ ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම කියූ කතාවක් සිහි තබාගැනීම ඉතා වැදගත්ය.

“අපරාධයට ඉහළින් විධායකය ඉන්නවා වගේම පරීක්ෂණ කරන අයට ඉහළිනුත් ඉන්නෙ විධායකය”

මේ රටේ හතර දිග්භාගයේ මොනයම් තැනකින් අහම්බයෙන් හෝ නැතුව  හෝ හමුවන සාමූහික සුසාන තුළ මිහිදන්ව ඇත්තේ මේ රටේම මිනිසුන්ය. අතුරුදන්වූවන්ගේ පවුල්වල එකතුව වෙනුවෙන් වරක් බි්‍රටෝ ප්‍රනාන්දු කී කතාව සිහි කිරීම වැදගත්ය.

“යම් කාලයකදී අතුරුදන්වීම් සිදුවෙලා තිබෙනවාද, ඒ අයගෙන් බහුතරයක් නිශ්චිත වශයෙන්ම මේ සමූහ මිනී වළවල්වල සිටිනවා” ඒ වදන්ය.

එය කිසිසේත්ම බැහැර කළ හැකි වදනක් නොවේ.

1996 අගෝස්තු 19 වැනිදා හමුදා නිලධාරීන්ගේ භාරයට ගැනීමෙන් පසු අතුරුදන් වූ ගරාජ් කාර්මිකයන් දෙපළගේ සිරුරු 1999 දී චෙම්මනි සමූහ සුසානයෙන් මතුවිය. ඔවුන්ගේ මවුපියන් ඒ තම පුතුන් බව හඳුනා ගත්තේ එක් අයකුගේ දෑස ඔහුගේ කමිසයෙන්ද අනෙකාගේ දෑස ඔහුගේ බැනියමින්ද ගැටගසා තිබූ බැවිනි.

ලංකාවේ කාලෙන් කාලයට අතුරුදන්වීම් සිදුවිය. ඒ නිසාම සමූහ සුසාන හමු වූ සැණින් ඇතැම් ඒවා 1988/89 කාලයේද නැතහොත් හමුදා භාරයේදී අතුරුදන් වූ පුද්ගලයන්ගේද එහෙත් නැතහොත් එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් ඝාතනය කර ඇති පුද්ගලයන්ගේද විය හැකි බවට සැක උපදී.

ඒ කෙසේ වෙතත් කුමන ජාති, ආගම් පැත්තකින් තැබුවද අතුරුදන් වූ දුවකු, පුතකු සිටින මවකගේ පියකුගේ හදවතෙන් නැඟෙනුයේ එකම අඳෝනාවකි රටේ කොයි තැනක සාමූහික සුසානයක් හමුවුවද කීරිගැසෙනුයේ ඒ හදවත්ය. කාල වකවානු අනුව අද ඒ මවුපියන්ගෙන් ඇතැම් පිරිස් ජීවිතයද හැර ගොස් සිටිය හැකිය. ඒ තම අහිමි වූ දරුවා වෙනුවෙන් යුක්තියක් නොලැබම මිහිදන් වූවෝය.

“සමූහ මිනී වළක්” යනු කුමක්දැයි යන්නට තවමත් නිසි නිර්වචනයක් නැත. ඒ නිසාම මෙවැනි සමූහ සුසාන හමුවීමේදී ගැටලු රාශියක් පවතී.

ජාත්‍යන්තර ආයතන කිහිපයක එකතුවකින් සමූහ සුසානය අර්ථගන්වා ඇත්තේ මේ ලෙසය.

“මරණය සිදු වූ ආකාරයෙන් සහ හෝ සිරුරු බැහැර කිරීමේ ක්‍රමයෙන් නිත්‍යනුකූලභාවය සම්බන්ධයෙන් විමර්ශන කළ යුතු සිරුරු වළ දමා තිබෙන ස්ථානයකි.”

වසංගත සහ ස්වාභාවික විපත්වලදී ද ඇතැම් සිරුරු සමූහ සුසානවල මිහිදන් කෙරේ. සුනාමි අවස්ථාවේදී එය අත්විඳි දෙයකි.

උතුරේ මෙන්ම දකුණේද අතුරුදන් වූවෝ බොහෝ සිටිති. ඒ අය ගැන හෝඩුවාවක් හෝ නැතිකමින් කාලයක් නැතිව හූල්ලන මවුපියන් බොහෝය. සහෝදර, සහෝදරියෝ හා ඥාතීහු එමටය. තමාගේ වන අයකුගේ කුමන හෝ අයුරින් මළ සිරුරක් දකින තෙක් ඔහු හෝ ඇය මියගියා යැයි සිතන්නට මිනිසුන් අකැමැතිය. ඒ නිසාම දශක ගණන් අද තම පුතු එතැයි බලා ඉන්න මවුවරුන් පියවරුන් ඇත. එසේ නොපැමිණෙන පුතු කොතැනින් හෝ ඇසෙන සමූහ මිනී වළක වළලා ඇතැයි එවැන්නක් මතු වූ සැණින් සිතති. මේ යථාවන් තුළ වටහා ගත යුත්තේ මේ මතුවන්නේ නිකන්ම ඇටසැකිලි නොවන බවය. මේ ඇටසැකිලි තුළ ආදරයෙන් මුහුවූ ජීවියෙක් මිට පෙර විසූ බව අමතක නොකළ යුතුය. ඔහු අද නැතත් ඔහු වෙනුවෙන් බලා සිටින අඩු තරමින් එකකු හෝ සිටිය හැකිය. ඇත්ත එය ය.

අපි ඉතාම නරක කල දසාවන් ගෙවා දැමූ ජාතීන් වෙසෙන රටකි. ඒ නිසාම අතුරුදන්වීම් එමට වූ රටකි. ඒ අතුරුදන් වූවන් විසි දෙවාරයක් මේ පොළොවෙන් මතු වූ රටකි තව කොතෙක් සමූහ මිනී වළවල් ඇත්ද? ඒවා කොයි මොහොතේ මතුවිය හැකිද? සංවර්ධනය හරහා එළියට එන්නේ පොදු සුසාන භූමි නම් ඒ රටේ අභිමානයට දෙන ඉඟි කොතරම් කටුකද? අතුරුදන්වූවන් වෙනුවෙන් අද ජීවත්වන සැවොම බලාපොරොත්තු වනුයේ එක් දෙයකි. එනම් ඇත්තටම සිදුවූයේ කුමක්ද යන්නය. අකැමැත්තෙන් වුව මේ අතුරුදන් වූ අය මියගිය බව මේ සැම පිළිගනිති. එහෙත් එය තහවුරු කරනොගෙන හිත හදාගන්නට මොවුහු මැළි වෙති. සාමූහික සුසානයක් හමු වූ සැණින් උතුරේ හෝ දකුණේ මේ අයගේ

නව බලාපොරොත්තුවක් දැල්වෙනුයේ මේ තුළ හෝ තම දරුවා, ඥාතියා, සහෝදරයා ඇත්නම් ඔවුන් මියයන්නට පෙර එය තහවුරු කරගත් බව සහතික කරගන්නටය. ඇටසැකිල්ලකින් වුව සාධාරණයක් වනු දැක්මටය. මෙය බරපතළ මානුෂීය සරදමකි, දුකකි, ඛේදවාචකයකි. සමූහ මිනී වළවල් යනු අපි දකින පොදු සුසාන භූමි නොවේ. ඒවායේ කිසිවකු සාමදානයේ සැතපෙන්නේ නැත. ඒ අයගේ සමීපතමයෝද නිවහල් දිවියක් ගෙවන්නේ නැත. චෙම්මනි මිනී වළද වරායෙන් හමුවූ මිනී වළද දෙතැනකින් හමුවුවද කියනුයේ එකම කතාවකි. එක ඛේදවාචකයක අ‍ෙ¼දා්නාවමය.

ටිරන් කුමාර බංගගමආරච්චි (mawbima)