liquer-issue

හිටපු ආණ්ඩුව යටතේ අරක්කු තැබෑරුම් බලපත්‍ර ලබාගෙන පක්ෂ මාරු කළ මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් දේශපාලනඥයන්ගෙන් එම බලපත් රුපියල් කෝටි දෙක තුන වැනි මුදලකට මිලදී ගත් ව්‍යාපාරිකයන් කීහිප දෙනකු එම මත්පැන් බලපත් අවලංගු කිරීමේ වත්මන් රජයේ තීරණය හේතුවෙන් කබලෙන් ළිපට වැටී ඇතැයි මහනුවර

දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ මත්පැන් අවන්හල් ජාල පවත්වාගෙන යන ව්‍යාපාරිකයන් අතර කතා බහට ලක්ව ඇත.




අලුතෙන්ම අරක්කු තැබෑරුම් ආරම්භ කළ ව්‍යාපාරිකයන් පවසන්නේ නව රජය අලුතෙන් දුන් තැබෑරුම් බලපත් අවලංගු කරන බවට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන අතර එවැනි තත්වයකට මුහුණ දීමට සිදු වුවහොත් තමන්ගේ ව්‍යාපාරවලට ඉන් තදබල බලපෑමක් ඇතිවිය හැකි බවයි.මහනුවර සහ අවට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අලුතෙන්ම ආරම්භ කළ තැබෑරුම් රැසක් තිබෙන බව

රජයේ බලපත්‍ර ලාභී මත්පැන් අලෙවි ජාලයන් හිමි ව්‍යාපාරිකයෝ පවසති.


තමන්ට ලද අරක්කු තැබෑරුම් බලපත් ව්‍යාපාරිකයන්ට විශාල මුදලකට විකුණූ හිටපු ආණ්ඩුවල දේශපාලනඥයන් රැසක් මහනුවර සිටින බව ජාතික ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් පැවසීය.තම පක්ෂයේ කිසිදු දේශපාලනඥයකු කිසිම ආණ්ඩුවකින් අරක්කු තැබෑරුම් බලපත්‍ර ලබාගෙන නැති බවද හෙතෙම කීය.

ජේ.ඒ.එල්. ජයසිංහ