ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පවසන්නේ සිකුරාදා බෙයිරූට් හි සිදු කළ ප්‍රහාරයන්හිදී හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා ඝාතනය කළ බවයි.
හිස්බුල්ලා සංවිධානය මේ පිළිබඳව තවමත් ප්‍රතිචාර දක්වා නැත.
දකුණු බෙයිරූට්හි ගුවන් ප්‍රහාර සෙනසුරාදා උදෑසන දක්වා දිගටම සිදු වූ අතර,  දහියෙහ් ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ඝන දුම් කඳු නැගෙනු වාර්තා විය.
අද උදෑසන බෙකා මිටියාවතේ ඉලක්ක වලට රොකට් ප්‍රහාර එල්ල විය.
සිකුරාදා, ලෙබනන නිලධාරීන් පැවසුවේ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් 91 දෙනෙකු තුවාල ලැබූ බවයි. ප්‍රාදේශීය නිලධාරීන් පවසන්නේ සඳුදා සිට ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ පුද්ගලයින් 800කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති බවයි.



ඉරානය සමඟ සමීප සම්බන්ධතා ඇති අනන්‍යතාවය වසන් කළ චරිතයක් වන මියගිය බව පැවසෙන නායක හසන් නස්රල්ලා, හිස්බුල්ලා සංවිධානය අද වන විට පවතින තත්වයට පත් කිරීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය - තවමත් සංවිධානයේ සහායකයින් ඔහුට ගෞරව කරයි.

නස්රල්ලාගේ නායකත්වය යටතේ, හිස්බුල්ලා  සංවිධානය පලස්තීන සන්නද්ධ කණ්ඩායමක් වන හමාස්, මෙන්ම ඉරාකයේ හා යේමනයේ සන්නද්ධ කණ්ඩායම් පුහුණු කිරීමට උපකාර කර ඇති අතර, ඊශ්‍රායලයට එරෙහිව භාවිතා කිරීම සඳහා ඉරානයෙන් මිසයිල හා රොකට් ලබාගෙන ඇත.

ඔහු හිස්බුල්ලා සංවිධානය ලෙබනනය අල්ලාගෙන සිටි ඊශ්‍රායල හමුදාවට එරෙහිව සටන් කිරීම සඳහා පිහිටුවන ලද සන්නද්ධ කණ්ඩායමක සිට ලෙබනන හමුදාවට වඩා ශක්තිමත් හමුදා බලවේගයක්, ලෙබනන දේශපාලනයේ බලවේගයක්, සෞඛ්‍ය, අධ්‍යාපන හා සමාජ සේවා සපයන ප්‍රධාන ආයතනයක් සහ එහි අනුග්‍රාහක ඉරානයේ කලාපීය ආධිපත්‍ය සඳහා වන උත්සාහයේ ප්‍රධාන කොටසක් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය මෙහෙයවීය.

1960 දී උපන් හසන් නස්රල්ලා වැඩුණේ බෙයිරූට් නගරයේ නැගෙනහිර බෝජ් හම්මෝඩ් ප්‍රදේශයේය. එහිදී ඔහුගේ පියා වන අබ්දුල් කරීම් කුඩා එළවළු වෙළඳසැලක් පවත්වාගෙන ගියේය. ඔහු දරුවන් නව දෙනෙකුගෙන් වැඩිමලා විය.



1975 දී ලෙබනනය සිවිල් යුද්ධයට අවතීර්ණ වූ පසු ඔහු ෂියා සන්නද්ධ කණ්ඩායමක් වූ අමල් ව්‍යාපාරයට එක්විය. ඉරාකයේ නජෆ් ශුද්ධ නගරයේ ෂියා ආගමික අධ්‍යාපන ආයතනයක කෙටි කාලයක් ගත කිරීමෙන් පසු, නැවත ලෙබනනයේ අමල් සංවිධානයට එක් වූ නමුත්, පලස්තීන සටන්කාමීන්ගේ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය ලෙබනනය ආක්‍රමණය කළ 1982 දී ඔහු සහ තවත් අය එම සංවිධානයෙන් ඉවත් විය.

නව කණ්ඩායම වන ඉස්ලාමීය අමල්, බෙකා මිටියාවතේ පදනම් වූ ඉරාන විප්ලවීය භටකායෙන් සැලකිය යුතු හමුදා සහ සංවිධානාත්මක සහාය ලබා ගත් අතර, පසුව හෙස්බොල්ලා සංවිධානය බවට පත් වූ ෂියා සන්නද්ධ කණ්ඩායම් අතරින් වඩාත් ප්‍රමුඛ හා ඵලදායී කණ්ඩායම බවට පත්විය.

1985 දී, හිස්බුල්ලා  සංවිධානය "විවෘත ලිපියක්" ප්‍රකාශයට පත් කිරීමෙන් එහි ස්ථාපනය නිල වශයෙන් ප්‍රකාශ කළේය. එමඟින් එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය ඉස්ලාම් ආගමේ ප්‍රධාන සතුරන් ලෙස හඳුනාගත් අතර, මුස්ලිම් භූමි අත්පත් කරගෙන සිටින බව කියන ඊශ්‍රායලය "මකා දැමීමට" කැඳවුම් කළේය.

සංවිධානය වර්ධනය වත්ම නස්රල්ලා හිස්බුල්ලා  සංවිධානයේ තනතුරු ඔස්සේ ඉහළට ගියේය. ඔහු පවසන පරිදි සටන්කරුවෙකු ලෙස සේවය කිරීමෙන් පසු බාල්බෙක් හි අධ්‍යක්ෂ තනතුර, ඉන්පසු මුළු බෙකා කලාපයේම,

අනතුරුව බෙයිරූට් හි අධ්‍යක්ෂ තනතුර දැරීය.

ඔහුගේ පෙරගමන්කරු වූ අබ්බාස් අල්-මුසාවි ඊශ්‍රායල හෙලිකොප්ටර් ප්‍රහාරයකින් ඝාතනය වීමෙන් පසු 1992 දී වයස 32 දී නස්රල්ලා හෙස්බොල්ලා සංවිධානයේ නායකයා බවට පත්විය.

ඔහුගේ පළමු ක්‍රියාවන්ගෙන් එකක් වූයේ මුසාවිගේ ඝාතනයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමයි. ඔහු උතුරු ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කරන ලෙස නියෝග කළ අතර එහිදී දැරියක් මිය ගියාය. තුර්කියේ ඊශ්‍රායල තානාපති කාර්යාලයේ ආරක්ෂක නිලධාරියෙකු මෝටර් රථ බෝම්බ ප්‍රහාරයකින් මරා දමන ලද අතර, ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හි ඊශ්‍රායල තානාපති කාර්යාලයට එල්ල වූ සියදිවි නසාගැනීමේ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 29 දෙනෙකු මිය ගියහ.

එමෙන්ම නස්රල්ලා 2000 දී ඊශ්‍රායල හමුදා දකුණු ලෙබනනයෙන් ඉවත් වීමෙන් අවසන් වූ  යුද්ධයක් මෙහෙයවීය. නමුත් ඊශ්‍රායල හමුදා සමඟ වූ ගිනි හුවමාරුවකදී ඔහුගේ වැඩිමල් පුත් හාදි මිය යාමෙන් පෞද්ගලික පාඩුවක් විඳීය.

ඊශ්‍රායල හමුදා ඉවත් වීමෙන් පසු නස්රල්ලා ප්‍රකාශ කළේ හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට එරෙහිව ලබාගත් පළමු අරාබි ජයග්‍රහණය එය බවයි. තවද ඔහු දිවුරා සිටියේ හිස්බුල්ලා සංවිධානය අවි බිම නොතබන බවත්, ෂෙබා ගොවිපොළවල් ප්‍රදේශය ඇතුළුව "සියලුම ලෙබනන භූමිය ආපසු ලබා ගත යුතු" යැයි සලකන බවත්ය.

ඊශ්‍රායල යුද ගුවන් යානා දකුණේ සහ බෙයිරූට්හි දකුණු උපනගරික ප්‍රදේශවල හිස්බුල්ලා  බලකොටු බෝම්බ ප්‍රහාරවලට ලක් කළ අතර, හෙස්බොල්ලා සංවිධානය ඊශ්‍රායලයට රොකට් 4,000ක් පමණ විදින ලදී. දින 34ක ගැටුම් තුළ දී සිවිල් වැසියන් බොහෝ දෙනෙකු ඇතුළුව ලෙබනන ජාතිකයන් 1,125කට වැඩි සංඛ්‍යාවක් මෙන්ම ඊශ්‍රායල සොල්දාදුවන් 119 දෙනෙකු සහ සිවිල් වැසියන් 45 දෙනෙකු මිය ගියහ.

ඔහුගේ මෑත කතාවේදී, හිස්බුල්ලා සාමාජිකයින් විසින් භාවිතා කරන ලද පේජර් සහ රේඩියෝ ජංගම දුරකථන දහස් ගණනක් පුපුරුවා හැරීම සම්බන්ධයෙන් නස්රල්ලා ඊශ්‍රායලයට දොස් පැවරූ අතර, එමඟින් පුද්ගලයන් 39 දෙනෙකු මිය ගිය බව පැවසිණි. තවත් දහස් ගණනක් තුවාල ලැබූ මෙම සිද්ධිය "සියලු රතු රේඛා පසුකර ඇති" බව පැවසීය. කණ්ඩායමට "පෙර නොවූ විරූ පහරක්" එල්ල වී ඇති බව ඔහු පිළිගත්තේය. ඉන් ටික කලකට පසු ඊශ්‍රායලය හිස්බුල්ලා සංවිධානයට එරෙහි ප්‍රහාර නාටකාකාර ලෙස තීව්‍ර කළ අතර 800 කට ආසන්න පිරිසක් මිය ගිය බෝම්බ ප්‍රහාර දියත් කළේය.