බලහත්කාරයෙන් නිවසට ඇතුළු වී නිවැසියන් බියගන්වා රුපියල් ලක්ෂ 14ක මුදලක් සොරාගත් බව කියන පොලිස් නිලධාරින් සිවුදෙනා නිවසේ පදිංචිකරුවන් විසින් හඳුනා ගැනීමෙන් අනතුරුව ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් කේමින්ද පෙරේරා මහතා ඊයේ (19) නියම කළේය.රුපියල් ලක්ෂ 07 බැගින් වටිනා ඇපකරුවන් සිවුදෙනකුගේ ශරීර ඇප මත මෙලෙස මුදාහරින ලද්දේ
පොලිස් සැරයන් නිරන්ජන් පීරිස්, කොස්තාපල්වරුන් වන ඩබ්ලිව්.එම්.සී. වාසල, ඒ.එස්. දයානන්ද, හා කොළඹ උතුර කොට්ඨාස බුද්ධි අංශයේ කොස්තාපල් සඳරුවන් නමැත්තන්ය.
මෝදර ප්රදේශයේ පදිංචිකරුවන් කළ පැමිණිල්ලකට අනුව සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් සිවුදෙනා පිටස්තර කිසිවකුටත් නොපෙනෙන ලෙස ආවරණය කර හඳුනාගැනීමේ පෙරෙට්ටුව සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර පැමිණිලිකාර මව, පියා සහ දරුවන් දෙදෙනා සැකකරුවන් හඳුනා ගත්හ.හඳුනා ගැනීමේ පෙරෙට්ටුවෙන් අනතුරුව නඩුව විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජය ගමගේ මහතා කරුණු දක්වමින් ප්රශ්නගත මුදල් මේ වන විට අධිකරණයට යොමු කර ඇති හෙයින් තම සේවාදායකයන්ට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.
පැමිණිලිකරුවන් වෙනුවෙන් නීතිඥ නිසංසල දිසානායක මහත්මිය සමඟ පෙනී සිටි නීතිඥ දිනේෂ් ගොඩගම මහතා කරුණු දක්වමින් සැකකරුවන් සොරා ගන්නා ලද රුපියල් ලක්ෂ 14ක මුදලෙන් මෝදර පොලිසිය සොයාගෙන ඇති රුපියල් ලක්ෂ 11ක මුදල යළි තම සේවාදායකයන්ට මුදා හරින්නැයි ඉල්ලා සිටියේය.මුදල් පැමිණිලිකරුවන්ට මුදාහැරීම සම්බන්ධයෙන් ඊළඟ නඩු වාරයේදී සලකා බලන බව දැනුම් දෙමින් සැකකරුවන්ට ඇප නියම කළ මහේස්ත්රාත්වරයා පැමිණිල්ල යළි කැඳවනු ලබන ඔක්තෝබර් පළමුවැනිදා සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙස පොලිසියට නියෝග කළේය.
(රෝෂන් තුෂාර)
0 Comments