What-will-happen-if-no-candidate-can-get-50-in-the-presidential-election

මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව මෙතෙක් මුහුණ දුන් විශාලතම ආර්ථික අර්බුදයට මුහුණ දී රට බංකොලොත්භාවය ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය. ඊට සමගාමීව ජන අරගලවලින්, ජන වරමින් තේරී පත්වූ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමට සිදුවුණි. ඉන් අනතුරුව මේ මොහොත වනතුරුත් ජනාධිපති පුටුව හොබවන්නේ ජනතා නියෝජිතයන් හෙවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් තෝරා පත් කරගන්නා ලද ජනාධිපතිවරයෙක් විසිනි. මේ හේතු නිසා මෙවර ජනාධිපතිවරණයේ ජය කාට හිමිවේද යන්න පිළිබඳව විවිධ මතවාද පළවෙමින් තිබේ. මෙම මතවාද වලට අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා ප්‍රබල අපේක්ෂකයන් කිහිපදෙනෙක්ම ජනපති වේ යැයි විශ්වාස කරන පාර්ශ්වයන් සිටිති. එය මීට පෙර සිදු නොවූ දෙයකි. මේ නිසා ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ඉතිහාසයේ ප්‍රථම වතාවට කිසිදු අපේක්ෂකයෙකුට වලංගු ප්‍රකාශිත ඡන්දවලින් 50% ඡන්ද ප්‍රමාණයක් නොලැබී යාමේ විශාල ඉඩකඩක් මේ වන විට තිබේ. මෙවැනි අවස්ථාවක අභිනව ජනාධිපතිවරයා පත්කර ගැනීම පිළිබඳවගැටලු ඇතිවීමට ඉඩ තිබේ. එම නිසා ප්‍රථම වතාවට ජනතාවගේ දෙවැනි මනාපයට තැනක් ලැබේවිද යන කරුණු කාරණා පිළිබඳව ජනතාව අතර යම් ගැටලුවක් මතු වී තිබේ . ඒ හේතුවෙන් මේ පිළිබඳව අදහස් විමසීම සඳහා හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සම්බන්ධ කර ගන්නෙමු.


ජනාධිපතිවරණයකදී සමස්ත ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 50%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට කිසිදු අපේක්ෂකයකු සමත් නොවුණහොත් නැවත ඡන්ද විමසීමක් (Re Poll) සිදුවේද ?


එවිට නැවත ඡන්ද විමසීමක් (Re Poll) අවශ්‍ය නොවේ. අපේක්ෂකයන් දෙදෙනකු පමණක් තරග කරන්නේ නම්,

වැඩි ඡන්ද ලැබූ අපේක්ෂකයා ජයගන්නා නිසා, දෙවන වටයක අවශ්‍යතාවක් පැන නොනගී.




අපේක්ෂකයන් තිදෙනෙකුට හෝ ඊට වැඩි පිරිසක් තරග කළහොත් පමණක් පළමු වටයෙන්ම ජයග්‍රහණය සඳහා වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් අඩක් හා එකක්, එනම් 50% වැඩි ප්‍රමාණයක් ලබාගැනීමේ අවශ්‍යතාව මතු වේ. කිසිදු අපේක්ෂකයෙකු එසේ 50%ක් හා එකක් ලබා නැතිනම්, දෙවන වටය ඡන්ද ගණන් කිර්මකට යා යුතුයි. මූලිකවම ඔබ නිවැරදිව ඡන්දය භාවිත කරන ආකාරය පිළිබඳව දැනගෙන සිටිය යුතුයි.


නිවැරදිව ඡන්ද මනාපය කැමැත්තේ පිළිවෙළට ලබාදෙන්නේ කෙසේද?


ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරිමේදී ඡන්දදායකයන්ට ස්වකීය කැමැත්තේ ප්‍රමාණය හෙවත් මනාපයේ ප්‍රමාණය අනුව අපේක්ෂකයන්ට 1,2,3 අංක යොදා මනාප භාවිත කරමින් ඡන්දය දිය හැකියි. කැමැත්ත එක් අපේක්ෂකයකුට පමණක් නම් 1 පමණක් යෙදිය යුතුයි. නැතහොත් 1 වෙනුවට සුපුරුදු කතිරය (x) පමණක් යෙදීමෙන් ඡන්දය දිය හැකියි. කැමති අපේක්ෂකයාට කතිරය (x) යොදන්නේ නම් වෙනත් අපේක්ෂයන්ට මනාප දීමට උත්සාහ නොකළ යුතුයි. එනම් 1හෝ කතිරය පමණක්, නැත්නම් 1හා 2 පමණක්, නැත්නම් 1,2,3 පමණක් ලෙස ඡන්දය හා මනාප ලකුණු කිරීම කළ යුතුයි.


කතිරය යොදන්නේ නම් එයට අමතරව අංක හෝ කතිර හෝ වෙනත් කිසිවක් ලකුණු කිර්මට උත්සාහ නොකළ යුතුයි. උදාහරණයක් ලෙස X, 2,3 යෙදීමෙන් වැළකී සිටීම වඩාත් සුදුසුයි. එසේ යෙදීමෙන් අවලංගු ඡන්ද පත්‍රයක් බවට පත්වෙයි. මේ හැර හරි ලකුණ යෙදීම, ඡන්ද ලකුණ වටා බෝල ඇඳීම, ඡන්ද ලකුණ යටින් ඉරක් ඇඳීම යනාදී කිසිවක් නොකළ යුතුයි. එවිට ඡන්ද පත්‍රය අවලංගු වෙයි.


ඒ අනුව නිවැරදිව ඡන්ද ලකුණු මනාප කළ ඡන්ද පත්‍ර වලංගු ඡන්ද පත්‍ර බවට පත්වේ. ඉන් අනතුරුව පළමුවටය ඡන්ද ගණන් කිරීමේදී සියයට පනහට වැඩි ඡන්ද ප්‍රතිශතයක් එක් අපේක්ෂකයෙකු නොගන්නා අවස්ථාවකදී නැවත ඡන්ද විමසීමකට නොයා, ලබාගත් ඡන්ද ප්‍රතිඵලය තුළින්ම දෙවන වටයේ ඡන්ද ගණන් කිරිම සිදුවේ.


දෙවන වටයේ ඡන්ද ගණන් කිරීම සිදුවන්නේ කෙසේද?


දෙවන වටයේ ඡන්ද ගණන් කිර්ම පිළිබඳව උදාහරණ සහිතව පැහැදිලි කිර්මක් සිදුකළහොත්, එය සිදුවන්නේ මෙසේයි.

A, B, C, D සහ E යනුවෙන් අපේක්ෂකයන් පස්දෙනෙකු තරග කරන්නේ යැයිද, සමස්ත වලංගු ඡන්ද සංඛ්‍යාව 100ක් වන බවද උපකල්පනය කරමු. එවිට ඒ ඒ අපේක්ෂකයා ලබාගන්නා ඡන්ද සංඛ්‍යාව මෙසේ යැයි සිතමු.


A= 40, B = 35, C= 15, D= 6,D=4


මේ අනුව තරගය පවතින්නේ පළමුවැන්නා හා දෙවැන්නා වූ A සහ B අතර පමණකි. සෙසු තිදෙනා C, D, E තරගයෙන් ඉවත් කෙරේ.




(දෙවැන්නා හා තුන්වැන්නා අතර වෙනස එකක් වුවද තෙවැන්නා තරගයෙන් ඉවත් කරනු ලැබේ.)


පළමු හා දෙවන ස්ථාන ලබාගත් A හා Bගේ ඡන්ද පත්‍රිකාවල ලකුණු කර ඇති මනාප පිළිබඳව කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නැත. අනතුරුව ඡන්ද 15ක් ලබාගත් Cගේ ඡන්ද පත්‍රිකා සියල්ල සලකා බලනු ලැබේ. C සඳහා කතිරය පමණක් සලකුණු කර ඇති ඡන්ද ඇත්නම්, ඒවාද පසෙක තබනු ලැබේ. එමෙන්ම 1 පමණක් සලකුණු කර ඇති ඡන්ද පත්‍රිකා ඇත්නම් ඒවාද පසෙක තබනු ලැබේ. එසේ කරන්නේ ඒවායේ වෙනත් අයෙකුට මනාප ප්‍රකාශ කර නොමැති බැවිනි.


එම ඡන්ද පත්‍රිකාවල 1, C සඳහාද 2, A හෝ B සඳහාද ලකුණු කර ඇතිනම්, A සඳහා ලකුණු කළ ඡන්ද පත්‍රිකා Aට වෙන් කර ඇති පෙට්ටියටද, B සඳහා ලකුණු කර ඇත්නම් B සඳහා වෙන් කර ඇති පෙට්ටියටද දමනු ලැබේ.(මෙවැනි ඡන්ද පත්‍රිකාවල තුන්වන මනාපය හෙවත් 3 ඉලක්කම ගැන සලකා බැලීම අවශ්‍ය නොවේ.) C සඳහා 1 ලකුණු කර ඇති ඡන්ද පත්‍රිකාවල 2 ඉලක්කම හෙවත් 2 මනාපය සටහන් කොට තිබුණේ D හෝ E සඳහා නම්, 3 ඉලක්කමක් හෙවත් 3 මනාපය එහි සටහන් තබා ඇත්ද යන්න පරීක්ෂා කර බලා 3 සටහන් කොට නොමැති නම් එයද පසෙකින් තබනු ලැබේ. 2 ඉලක්කම D හෝ E සඳහා වූ විට 3 සටහන් කර ඇත්තේ A සඳහා හෝ B සඳහා නම්, එම ඡන්ද ප්‍රතිකා අදාළ වන පරිදි Aගේ සහ පිගේ ඡන්ද සඳහා වෙන් කළ පෙට්ටිවලට දමනු ලැබේ. එහෙත් 2 මනාපය D සඳහා ලබාදී 3 සටහන් කොට ඇත්තේ E සඳහා නම්, එවිට E තරගයේ නොමැති බැවින් එයද පසෙක තබනු ලැබේ. 2 E සඳහා ලබා දී 3 D සඳහා දී ඇත්නම් එයද ඒ අයුරින්ම පසෙක තබනු ලැබේ.


ඒ අයුරින් D හා E ලබාගත් ඡන්ද 2, 3 මනාප අනුව A හා B වෙත ලබාදීම හෝ පසෙක තැබීම කරමින්, මෙම ඡන්ද 25ම A හෝ B වෙත එකතු කිරීම හෝ නොසලකා හැරීම සිදුකරනු ලැබේ.එසේ බෙදීමෙන් A සඳහා අමතර ඡන්ද 03ක්ද, B සඳහා ඡන්ද 10ක්ද ලැබුණේ යැයි උපකල්පනය කළ විට Aගේ සමස්ත ඡන්ද සංඛ්‍යාව 43ක්ද (A= 40+3 = 43), Bගේ සමස්ත ඡන්ද සංඛ්‍යාව 45ක්ද (B= 35+10=45) වනු ඇත.




දැන් වලංගු ඡන්ද සංඛ්‍යාව ඡන්ද 88කි. Aගේ සහ පිගේ සමස්තයේ එකතුව එනම් 43+45 = 88 කි. මෙහිදී එයින් අඩකට වඩා එනම් 45ක් ලබාගන්නා ලද පිහට ජයග්‍රහණය හිමි වේ.

මෙහිදී වලංගු ඡන්ද සංඛ්‍යාව100ක් ලෙස සලකා ඉන් අඩකට වඩා එනම් 51ක් ලබාගැනීමේ අවශ්‍යතාවක් නැත. මෙහිදී Aට අමතර ඡන්ද 8ක්ද, පිට අමතර ඡන්ද 5ක්ද ලදහොත් A = 48ද, B = 40ද වී, A ජයග්‍රහණය කරනු ඇත. Aට හෝ පිට කිසිම අමතර මනාපයක් නොලදහොත්, A = 40, B = 35 බැවින් A ජයග්‍රාහකයා වේ. A හා B සමාන ඡන්ද සංඛ්‍යාවක් ලබා ඇත්නම් ජයග්‍රාහකයා තෝරා ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් කුසපත් ඇදීමක් මගින් අමතර ඡන්දයක් එක් අයෙකුට එකතු කරනු ඇත. මෙවර මැතිවරණය තීරණාත්මක බැවින්, ඔබේ මනාපය ලකුණු කිර්ම ඉතාමත් අවබෝධයෙන් සහ නිවැරදිව සිදුකිර්ම වැදගත්ය. එම නිසා නිවැරදිව ඡන්ද මනාප ලකුණු කිරීම පිළිබඳව අවබෝධයෙන් සිට ඔබේ මනාප සටහන් කරන්න. එසේ නොමැති වුවහොත්, ඔබ කැමති අපේක්ෂකයාට ඡන්දය ලබාදුන්නත්, ඔබේ ඡන්ද පත්‍රය අවලංගු වී යාමට ඉඩකඩ තිබේ.
 

(පියුමිකා වීරසූරිය)