deepika-padukone-ranveer-singh-blessed-with-baby-girl

බොලිවුඩයේ ජනප්‍රිය සිනමා තාරකා විවාහක යුවළක් වන දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං දෙදෙනාට දාව දියණියක අද (8) උපත ලද බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. මේ ඔවුනගේ කුළුඳුල් දරු උපතයි.
රංගන ශිල්පිනී දීපිකා පදුකෝන් 2018 දී ඉතාලියේ ලේක් කොමෝ හි මනරම් උත්සවයකදී රන්වීර් සිං සමඟ විවාහ වූ අතර දරුවකු ලබන්නේ විවාහයෙන් වසර 6 කට පසුය.
 මුම්බායි හි එච්එන් රිලයන්ස් රෝහලේදී මෙම දරුවා උපත ලබා ඇති බව වාර්තා වේ. Hindustantimes පුවත්පත වාර්තා කර ඇති පරිදි ඉරිදා, යුවළ බලන්නට ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් රෝහලට පැමිණෙනු දැකගත හැකි වූ බවය. කෙසේ නමුත් ඡායාරූප ලබාගන්නට අවසර ලබාදී නැති බව වාර්තා විය.
මෙම උපත සිදුකරන්නට දින දෙකකට පෙර සිකුරාදා මුම්බායි හි සිද්ධිවිනායක කෝවිලේ ආශිර්වාද පූජාවකට යුවළ සහභාගී වූ බවද පුවත්පත වාර්තා කර තිබේ. එම අවස්ථාවේ පැපරාසියෙකු විසින් බෙදාගත් වීඩියෝවේ දීපිකා සාම්ප්‍රදායික කොළ පැහැති සාරියක් සහ එයට ගැලපෙන බ්ලවුස් එකක් ඇඳ සිටිනු දක්නට ලැබුණි.
මෙම යුවළ ඔවුන්ගේ ගැබ් ගැනීම නිවේදනය කළේ මේ වසරේ පෙබරවාරි මාසයේදීය.

ඔවුන් දෙදෙනා "සැප්තැම්බර් 2024" යනුවෙන් කියවෙන ඒකාබද්ධ සටහනක් බෙදා ගත් අතර එය ළදරු ඇඳුම්, ළදරු සපත්තු සහ බැලූනවල හුරුබුහුටි මෝස්තර සහිත විය.
දීපිකා සහ රන්වීර් ඔවුන්ගේ ගැභිණි බව නිරූපිත ඡායාරූප සමාජ මාධ්‍ය තුළ පළ කර ඇති අතර, එහිදී ඇය රන්වීර් සමඟ සතුටින් තම ගැභ විදහා දක්ව‍ා සිටින අයුරු දිස් විය.
පුවත්පත් වාර්තාව අනුව නව දරු උපත සමග  මෙම යුවළ නව නිවසකින් ඔවුන්ගේ ජීවිතයේ මෙම නව පරිච්ඡේදය ආරම්භ කරනු ඇතැයි වාර්තා කර තිබේ. ඉන්දියාවේ බන්ද්‍රා හි පිහිටි ඔවුන්ගේ අලංකාර මහල් නිවාසයේ පදිංචියට යාමට ඉඩ ඇති බව වාර්තා කර තිබේ.
චිත්‍රපටයේ රූගත කිරීම්  අතර පෙම් සබඳතාවක් ආරම්භ කළ දීපිකා සහ රන්වීර් 2013 දී පමණ තෙක් ඔවුන්ගේ සම්බන්ධතාවය රහසක්ව තබා ගත්හ. ඔවුහු 2018 දී ඉතාලියේ ලේක් කොමෝහිදී ඔවුන්ගේ මිතුරන් සහ පවුලේ අය ඉදිරියේ විවාහ වූහ.
නව දරු උපත ගැන දීපිකා සිය රසිකයින්ට ග්‍රැෆික් සටහනකින් දැනුම් දීමක් කර ඇති අතර ඡායාරූප තවම පළ කර නැත.