දෙහිවල සරණංකර පාරේ හෝටල් හිමිකරුට වෙඩි තබා ඝාතනය කිරිම සඳහා පැමිණි වෙඩික්කරුවන්ට යතුරුපැදිය ලබා දී ඇත්තේ යතුරුපැදියේ ලියාපදිංචි අයිතිකරුට අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3 ලබා දී බවට අත්අඩංගුවට ගත්

සැකකරුවන් දෙදෙනකුගේ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී යැයි කොහුවල පොලිසිය කියයි. එම එක් සැකකරුවකු මීගොඩ ප්‍රදේශයේදීත් අනෙක් සැකකරු පාදුක්ක ප්‍රදේශයේදීත් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කරයි.


ඉකුත් 18 වැනි දින රාත්‍රියේදී දෙහිවල සරණංකර පාරේ ස්ටාර් හෝටලේ හිමිකරු වන නායගම් විශ්ව ඥනම් (43) යන අය හෝටලය තුළදී වෙඩි තබා ඝාතනය කර තිබුණි.

දැනට විදේශගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කසුන් ධම්මික යන අය පාදුක්ක ප්‍රදේශයේ පුද්ගලයකුට දුරකතනයෙන් කරන ලද දැනුම් දීමක් අනුව පාදුක්ක, වටරැක, ගාලබැඳිහේන ප්‍රදේශයේ නිවෙසක් ඉදිරිපිටට ඔහුගේ යතුරුපැදිය රැගෙන විත් එය නවතන ලෙසත්, ඒ ආසන්නයේ තිබෙන ජම්බු ගසක් යට තිබෙන අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3 ලබාගෙන යන ලෙස උපදෙස් ලබා දී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.




අනතුරුව එම ප්‍රදේශයේම පදිංචි බුද්ධික ප්‍රසාද් යන පුද්ගලයකුට ඇමතුමක් ලබාදී එය අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් 18000/= ක මුදලක් ලබා දී ඇතැයිද පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.විදේශගතව සිටින කසුන් ධම්මික නමැත්තා බුද්ධික ප්‍රසාද් යන අයට නැවතත් ඇමතුමක් ලබාදී මුදිත ප්‍රසාද් නොහොත් චීන පුතා නමැත්තා සමග එම යතුරුපැදිය ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින කොස්මල්ලි යන අයගේ අනුදැනුම මත මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය අසලදී ගල්කිස්ස ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු වෙත ලබා දී ඇතැයි පොලිසිය කියයි. එම යතුරුපැදිය හෝටල් හිමිකරු ඝාතනය සඳහා යොදාගෙන ඇති බව අනාවරණය වී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.


බඩෝවිට කුඩු අසංක සහ දෙහිවල රජයේ නිවාසවල සමන්ත යන දෙදෙනා අතර පවතින මත්ද්‍රව්‍ය ආරවුලක් මත ඉකුත් දින කීපය තුළ දෙහිවල සහ කොහුවල පොලිස් බල ප්‍රදේශවල දී තිදෙනෙකු ඝාතනයට ලක්කෙරිණි.හෝටල් හිමිකරු ඝාතනයට ආධාර අනුබල දීම යටතේ සැකකරුවන් දෙදෙනා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
 බිමල් ශ්‍යාමන් ජයසිංහ