chandrika-speaks

 මෙම ජනාධිපතිවරණයේ දී කිසිම අපේක්ෂකයකුට සහයෝගය දීමට තමන් කටයුතුනොකළ අතර ඉදිරියේදී හෝ එසේ කිරීමට තමා තුළ බලාපොරොත්තුවක් නැතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළාය. මින් පෙර කිසිදාක අප දේශයේ අනාගතය අද වැනි අවිනිශ්චිතභාවයකට සහ අභියෝගාත්මක ඉරණමකට මුහුණ පා නොමැති බැවින් සියලුම ඡන්දදායකයන් තම ඡන්දය ප්‍රකාශ කිරීමේ දී බැරෑරුම් ලෙස මෙම තත්වය කල්පනා කළ යුතුව ඇති බවද ඇය සඳහන් කළාය. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිය සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව සඳහන් කර තිබෙන අතර එහි මෙසේ ද දැක්වේ.


“සමහර ජනාධිපති අපේක්ෂකයන් අවස්ථා ගණනාවකදීම මෙම ජනාධිපතිවරණයේ දී මගේ සහයෝගය ඉල්ලා සිටිය ද, මෙම අවස්ථාවේ දී මධ්‍යස්ථව සිටීමට මා තීරණය කර ඇති බව අදාළ සියලු පාර්ශවයන් වෙත දැනුම් දීමට කැමැත්තෙමි.මෙවර ජනාධිපතිවරණයේ දී කිසිම අපේක්ෂකයකුට සහයෝගය දීමට මම කටයුතු කර නොමැති අතර,

ඉදිරියේ දී හෝ එසේ කිරීමට මා තුළ බලාපොරොත්තුවක් නොමැති බව අවධාරණය කරනු කැමැත්තෙමි. මින් පෙර කිසිදාක, අප දේශයේ අනාගතය අද වැනි අවිනිශ්චිතභාවයකට සහ අභියෝගාත්මක ඉරණමකට මුහුණ පා නොමැත.


සියලුම ඡන්දදායකයන් තම ඡන්දය ප්‍රකාශ කිරීමේ දී බැරෑරුම් ලෙස මෙම තත්වය කල්පනා කළ යුතුව ඇත. පුද්ගලයා දෙස නොව, එක් එක් අපේක්ෂකයා විසින් ඉදිරිපත් කරන වැඩපිළිවෙළ හා ප්‍රතිපත්ති, එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන් සතු වැඩපිළිවෙළ හා ක්‍රියාපටිපාටින් මෙන්ම ඒවා ක්‍රියාත්මක කිරීම භාරව සිටින පුද්ගලයන්ගේ ධාරිතාව පිළිබඳව ද මෙහිදී මැනවින් අවධානයට ලක් කළ යුතු යැයි මම යෝජනා කරමි. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ප්‍රමුඛත්වය දීම, අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්මය (විශේෂයෙන් සුළු ගොවිතැන), සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ ව්‍යවසායන්, ප්‍රධාන ප්‍රධාන කර්මාන්ත අපනයන මෙන්ම වැවිලි කර්මාන්ත විවිධාංගීකරණය, ජාත්‍යන්තර වෙළෙඳාම සහ සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීම යන ප්‍රතිපත්ති වලට ප්‍රමුඛත්වය යුතුය.


අවංක සහ යහපාලනය, රාජ්‍ය දූෂණය පිටු දැකීම මෙන්ම පොරොන්දු වූ ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක කිරීම පිළිබඳ සහතිකයක් ජනාධිපති අපේක්ෂකයන් වෙතින් ඉල්ලා සිටීමට ඡන්දදායකයන් වන අපට අනුලංඝනීය අයිතියක් ඇත. මෙයින් අදහස් කරන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය ඇතුළු

රජයේ සියලුම ඉහළ තනතුරු සඳහා අවංකභාවයෙන් හෙබි කුසලතා සහ සුදුසුකම් පරිපූර්ණ පුද්ගලයන් පත් කිරීමයි. යහපාලනය සහතික කිරීම සඳහා අපගේ දේශයෙන් දූෂණය නමැති ශාපය අතුගා දැමිය හැකි ආකාරයේ නීති, ක්‍රමවේද ක්‍රියාපටිපාටි ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවයි.


ආණ්ඩුකරණ ක්‍රියාවලිය තුළ අවංකභාවය සහ වගවීම ඉල්ලා අදින් වසර දෙක හමාරකට පෙර, 2022 දී ඇරඹි දැවැන්ත ජනතා ව්‍යාපාරය විසින් රැඩිකල් ක්‍රම වෙනසක් උදෙසා කළ ප්‍රබල ඉල්ලීම අප අමතක නොකළ යුත්තේය.යම් රජයක් පිහිටුවීම සඳහා පුරවැසියන් වසර පහකට වරක් ඡන්දය භාවිත කරන නමුත් එම වසර පහ තුළ රාජ්‍ය පාලනය පිළිබඳ කිසිදු පුරවැසි සබඳතාවක් හෝ සහභාගීත්වයක් නොමැති වත්මන් ක්‍රමය හරහා මෙම අරමුණ ළඟා කරගත නොහැකි බව මම විශ්වාස කරමි. අප රටේ ක්‍රම වෙනසක් ඇති කිරීම පිළිබඳ අපගේ සිහිනය සඵල කර ගැනීමට එකම විසඳුම ආණ්ඩුකරණයේ දී තීරණ ගැනීමේ සහ ක්‍රියාත්මක කිරීමේ දී පූර්ණ පුරවැසි සහභාගීත්වය ඇතුළත් රාජ්‍ය ව්‍යුහයක් නිර්මාණය කිරීම බව මාගේ විශ්වාසයයි.

නිමල කොඩිතුවක්කු