chicken-price-down

කුකුළු මස් සඳහා පවතින ඉල්ලුම විශාල ලෙස අඩු වී තිබෙන බවත්, මේ නිසා ඉදිරි සති දෙකක කාලය තුළද, කුකුළු මස් කිලෝවක මිල රුපියල් සියයත්, රුපියල් එකසිය පනහත් අතර මුදලකින්අඩු විය හැකි බවත් සමස්ත ලංකා කුඩා කර්මාන්ත හිමියන්ගේ සංගමය සඳහන් කරයි.කුකුළු මස් කිලෝවක සිල්ලර මිල මේ වන විට රුපියල් දහසත්, රුපියල් එක්දහස් එකසියත් අතර මිලක පවතින බවද එම සංගමයේ සභාපති නිරුක්ෂ කුමාර මහතා සඳහන් කළේය.ඉදිරි දෙසතිය තුළදී මෙම මිල රුපියල් 900ත් රුපියල් 850ත් අතර මිලක් දක්වා පහත වැටිය හැකි බවද පවසා සිටියේය.

දෛනිකව අවශ්‍ය කුකුළු මස් ප්‍රමාණය මේ වනවිට වෙළෙඳපොළට පැමිණෙමින් තිබෙන බවත්,

මීට අමතරව බිත්තර දැමීම අවසන් මට්ටමේ පවතින කිකිළියන්ද, මේ වන විට මස් බවට පත් වී වෙළෙඳපොළට පැමිණෙමින් තිබෙන බවද සඳහන් කළේය.


මේ අනුව කුකුළු මස් ඉදිරි දිනවල අඩු වන බවත්, නත්තල් සමය වන විට කුකුළු මස් ඉල්ලුම යම් ප්‍රමාණයකින් ඉහළ යන නිසා එවිට කුකුළු මස් මිල යළිත් යම් මුදලකින් ඉහළ යා හැකි බවද පවසා සිටියේය. දෛනික බිත්තර ඉල්ලුම ලක්ෂ හැටක් බවත්, මෙම ප්‍රමාණය වෙළෙඳපොළට පැමිණෙමින් තිබෙන බවත්,

මේ නිසා බිත්තර මිල පවා මේ වන විට සැලකිය යුතු මුදලකින් අඩු වී තිබෙන බවත්, ආර්ථික අර්බුදයට පැමිණීමට පෙර දෛනික බිත්තර ඉල්ලුම බිත්තර ලක්ෂ අසූවත් අනූවත් අතර ප්‍රමාණයක් වූ බවද පවසා සිටියේය.


ආර්ථික අර්බුදයත් සමග බිත්තරයක මිල රුපියල් 60 දක්වා ඉහළ ගිය බවත්, මේ නිසා දෛනික බිත්තර ඉල්ලුම ලක්ෂ පනහත් හැටත් දක්වා පහත වැටුණු බවද සඳහන් කළේය. බිත්තර ඉල්ලුම පහත වැටුණත් පසුගිය කාලයේදී ඉල්ලුමට සරිලන සැපයුමක් නොතිබුණු නිසා බිත්තරයක මිල රුපියල් 50ත් රුපියල් 55ත් සීමාවේ පැවැති බවත්, මේ වන විට බිත්තරයක මිල රුපියල් 30ත් රුපියල් 36ත් දක්වා පහත වැටී තිබෙන බවද පවසා සිටියේය.


ලබන මාසය වන විට බිත්තරයක මිල රුපියල් 25ක් දක්වා පහත වැටිය හැකි බවත්, කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය සහාය ලැබුණහොත් බිත්තර මිල තවදුරටත් අඩු කළ හැකි බවත් සඳහන් කළේය. නත්තල් සමය හා වර්ෂ අවසානය වන විට බිත්තර ඉල්ලුම යළිත් යම් ප්‍රමාණයකින් ඉහළ යන බවත්, මේ අනුව යළිත් සුළු මුදලකින් බිත්තර මිල ඉහළ යා හැකි බවත් පවසා සිටියේය.
(ඉන්දික හේවාවිතාරණ)