colombo7-theft

ප්‍රකට මැණික් ව්‍යාපාරිකයකුගේ දියණියකට අයත් කුරුඳුවත්ත ප්‍රදේශයේ පිහිටි නිවෙසකට පැන භාණ්ඩ සොරාගත් පෙර වැරදි සහිත සොරෙකු අත්අඩංගුවට පත්ව තිබේ.


මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී ඇති 'රාජු භායි මිහිරාත්' නමින් හඳුන්වන 52 හැවිරිදි සැකකරු පසුගිය අගෝස්තු 10 වැනි දින කුරුඳුවත්ත ග්‍රීන් පාත් ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවෙසට ඇතුළු වී එහි ඉහළ මාලයේ කාමර දෙකක තිබූ රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා කාන්තා අත් බෑග් 6ක්, දුරකථන 2ක් සහ දියමන්ති මාලයක් සොරාගෙන ගොස් තිබෙන අතර
 එම ස්ථානයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කර සැකකරු හඳුනාගන්නට පොලිසිය සමත් විය.



කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසන්නේ අත්අඩංගුවට ගත් 52 හැවිරිදි සැකකරු වයස අවුරුදු 13 සිට දේපොළ කොල්ලකෑමට පුරුදුව සිටි පුද්ගලයෙකු බවත්, දේපොළ කොල්ලකෑමක් සම්බන්ධයෙන් වසර 13ක සිර දඬුවමක් විඳ පැමිණි අයෙකු බවත්ය.

 අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී, සොරාගත් අත් බෑග් 05ක් අලුත්කඩේ ප්‍රදේශයටත්, රන් මාලය ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පුද්ගලයකුටත් විකුණා තිබියදී සොයාගත් අතර සොරාගත් ජංගම දුරකථන හමුවූයේ නැති බවත් වාර්තා විය.

සැකකරු අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කුරුඳුවත්ත පොලිසියට භාරදී තිබෙයි.