කෝටිපති ව්‍යපාරිකයකු පැහැරගෙන ගොස් මෝටර් රථය තුළදීම ඝාතනය කර ඔහු ළඟ තිබු රුපියල් කෝටි 3 1/2ක මුදල් හා රන් ආභරණ තොගයක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මරණ දණ්ඩනය ඊයේ (04දා) නියම කළේය.රන් ආභරණ වෙළෙඳාමේ යෙදී සිටි සින්නතුරෙයි ඉන්දිරේෂ්වරන් හෙවත් සුරේකා රාජා නැමැති කෝටිපති ව්‍යාපාරිකයා මීට වසර 12කට පෙර මෝටර් රථය තුළදීම ඝාතනය කර ඔහු ළඟ තිබු මුදල් හා රන් ආභරණ කොල්ලකා ඇත්තේ විත්තිකරු විසින්ම බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ලිෂාන් රත්නායක මහතා විසින් ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට මරණ දණ්ඩනය නියම කළේය.
විත්තිකරුට නියම කළ මරණ දණ්ඩනයට අමතරව ඔහුට බරපතළ වැඩසහිත වසර 10ක සිරදඬුවම් නියම කළ විනිසුරුවරයා රුපියල් 10,000/-ක දඩයකටද යටත් කළේය. චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ මොහොමඩ් යූෂුප් පස්වීන් නමැති 41 හැවිරිදි විත්තිකරුවකුටය. 2012 ඔක්තෝබර් මස 30 වැනිදා හෝ ඊට ආසන්න දිනයක පිටකොටුවේදී සින්නතුරෙයි ඉන්දිරේෂ්වරන් හෙවත් සුරේකා රාජා නැමැති කෝටිපති ව්‍යාපාරිකයා රවටා පුස්සැල්ලෑව ප්‍රදේශයට රැගෙන ගොස් ගෙල සිරකර මරා මරණකරු සතු මුදල් හා රන් ආභරණ මංකොල්ල කෑ බවට විත්තිකරුට එරෙහින නීතිපතිවරයා චෝදනා නඟා තිබිණ.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරු විසින් මරණකරු රවටා මරණකරුගේ කාර් රථයෙන්ම මහනුවර පුස්සැල්ලෑව ප්‍රදේශයට කැඳවාගෙන ගොස් කාර් රථය තුළදීම ඝාතනය කර, සිරුර වාහනයෙන් පිටතට ඇද දමා කාර් රථයද රැගෙන විත්තිකරු පලාගොස් ඇති බව හෙළි විය.
සින්නතුරෙයි ඉන්දිරේෂ්වරන් හෙවත් සුරේකා රාජා නැමැති කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කිරීමෙන් පසු ඔහු සන්තකයේ තිබු රුපියල් මිලියන 33 ක මුදල් හා ඔහු පැලඳ සිටි ඊත්රන් මුදු 04 ක්, රන් තැල්ලක්, මාලයක් රන් කරාබු ජෝඩුවක් හා රන් කැබැල්ලක් විත්තිකරු විසින් මංකොල්ල කා ඇති බවද පැමිණිල්ල මෙහෙයවූ රජයේ නීතිඥ ලිෂාන් රත්නායක මහතා විසින් ඔප්පු කර ඇතැයි විනිසුරුවරයා තීරණය කළේය. දීර්ඝ නඩු විභාගය අවසානයේ විත්තිකරු චේතාන්විතවම මෙම අපරාධය කර ඇති බවටද ඔහුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කර ඇති බවටද තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඬුවම් පැනවීය.පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ ලිෂාන් රත්නායක මහතා පෙනී සිටියේය.
බුද්ධිමාල් රුබේරු
0 Comments