dalada-maliga-wedding

  පසුගියදා අලුත විවාපත් යුවළක් ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව තුළ සිදුකළ ඡායාරුප ගතකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භකර තිබෙයි.රංගන ශිල්පී  නීතිවේදී දෙව්නක පෝරගේ සහ සංගීත ශිල්පිණී හෂිණි වැදණ්ඩ් පෙනී සිටි මෙම ඡායාරූප ගෙන තිබුනේ ලක්මාල් සිංහාරගේ ඡායාරූප ශිල්පියාය.
ශ්‍රී දළදා මාළිගාව තුළ සිදුකළ විවාහ පූර්ව ඡායාරූප රූ ගත කිරීම පොලිසියේ අනුදැනුමකින් තොරව සිදුවිය නොහැකි බව දියවඩන නිලමේ නිලංග දෑල මහතා පවසයි.

පොලිසියේ හැසිරීම සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් තම දැනුම් දීම මත ආරම්භ කර තිබෙන බවද දියවඩන නිලමේවරයා පැවසීය.

දියවඩන නිලමේවරයාවත් නොදැන මෙම නව යුවළ දළදා මාලිගාවේ ඉහළ මාලයට පවා පැමිණ ඡායාරූප ගනිමින් සිටියදී එහි රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සාහ කිරීමේදී වෙනත් බලගතු පාර්ශවයකින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් එම කටයුත්ත කරගෙන යාමට ඉඩ සලසා දී තිබෙන බවටද කරුණු අනාවරණය වී තිබේ.

අදාළ යුවළ දළඳා මැදුර තුළ හේවිසි මණ්ඩපය, අම්බරාව ඇතුළු ස්ථාන කිහිපයක සිට මෙම ඡායාරුප ගතකිරීම සිදුකර ඇති බව වාර්තා වෙයි.



අදාළ යුවළ සහ ඡායාරූප ශිල්පීන් අද (09) දිනයේ මහනුවරට කැඳවා මේ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට කටයුතු කරන බව පොලිසිය පැවසුවේය.

මෙම ඡායාරුප ගතකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් සමාජ මාධ්‍යවල දැඩි කතා බහක් මතුව තිබෙයි.

බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ වන ශ්‍රී දළදා සමිඳුන් වැඩවාසය කරන ශ්‍රී දළදා මාලිගාව වැනි පූජනීය ස්ථානයක මේ ආකාරයෙන් ෆ්‍රී ෂූට් කිරීමට ඉඩ ලබා දීමෙන් ඉදිරියේ දී තවත් අය එවැනි කටයුතු සඳහා දළදා මැදුරට පැමිණෙනු ඇතැයිද මේ හේතුවෙන් දළදා වහන්සේ පිළිබඳ දිස් විදෙස් ජනතාවගේ ඇති ගෞරවයට පවා හානි සිදුවිය හැකි බව පවසන බෞද්ධ ජනතාව මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර නොගතහොත් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද බෞද්ධ සංවිධාන සඳහන් කරති.
මෙම ඡායාරූප සම්බන්ධයෙන් සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබා ඇති ඡායාරූප ලබාගත් ලක්මාල් සිංහාරගේ පවසන්නේ, වෙනත් තැනක විවාහ ගිවිස ගැනීම සිදුකිරීමෙන් පසු දළදා මාලිගාවේ ආශිර්වාද ලබාගැනීමට ගිය අවස්ථාවක එහි විවෘත තැන්වල ලබාගත් ඡායාරූප දෙක තුනක් පමණක් මෙම එකතුවේ ඇති බවත් ඒවාට අවසර ගැනීමක් අවශ්‍ය නොවූ බවත් එහි ප්‍රී ෂූට් එකක් නොකළ බවත්ය.