dehiwala-underworld

අද (20) උදෑසන දෙහිවල කඩවත පාර ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙයි.
කඩවත පාරේ ස්කූටරයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නිවසක් ඉදිරිපිටදී මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන අතර එම අවස්තාවේ වෙඩි පහරකා ඇද වැටුණ 45 හැවිරිදි වියේ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 45 හැවිරිදි වියේ පසුවන දෙහිවල සරණංකර පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තාවන අතර ඔහු දෙහිවල නගර සභාවේ කම්කරු රැකියාවක නිරතවන්නෙකු බවත් වාර්තා විය. එසේම මියගිය පුද්ගලයා පාතාල සාමාජිකයෙකුගේ ඥාතියෙකුද වන බැවින් මෙම ඝාතනය කිසියම් පාතාල ක්‍රියාකාරකමක් වියහැකි බවට පොලිසිය අනුමාන කරයි.



ඔහු BDT 9539 සිය යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී තවත් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවට සාක්ෂි ලැබී ඇති අතර පසුගියදා දෙහිවල බඩෝවිට ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමත්, සරණංකර පාරේ වෙඩිතැබීමත් හා මෙම සිද්ධියේ සම්බන්ධයක් ඇතිදැයි පොලිසිය සැකකරයි.
පෙරේදා (18) රාත්‍රියේ දී දෙහිවල සරණංකර පාරේ අවන්හලකදී  නාගසාමි විශ්වනාදන් නොහොත් ආනන්ද යන අය නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු පැමිණ වෙඩි තබා පලා ගොස් තිබූ අතර වෙඩික්කරුවන් පැමිණි බවට සැක කළ අංක BFY – 0898 දරණ යතුරුපැදිය කිරුලපන ඉන්ධන පිරවුම් හල අසල දමා ගොස් තිබියදී සොයා ගෙන තිබුණි.


ඝාතනයට ලක් වූ නාගසාමි විශ්වනාදන් බඩෝවිට අසංක යන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මුදල් ගනුදෙනු හසුරු වන පුද්ගලයකු වන බවත්; පසුගිය සතියේ බඩෝවිට ප්‍රදේශයේදී වෙඩිතබා ඝාතනයට ලක් වූ තරිදු ලක්ෂාන් නැමැත්තාගේ අවමංගල්‍ය උත්සවයට ආහාර පර්සල් 450 ක් ලබා දී ඇති බවත් සිදු කළ මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබෙයි.

එබැවින් මෙම වෙඩි තැබීම් බඩෝවිට ඝාතනයට සම්බන්ධයක් ඇති බවට පොලිසිය සැක කරයි.
සැකකරුවන් මෙතෙක් අත් අඩංගුවට නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.