deniyaya-incident

පවුලේ ආර්ථික වියදම දිනෙන් දින වැඩිවද්දී එය පාලනය කර ගැනීම සඳහා බොහෝ කාන්තාවන් සිදු කරන්නේ විදේශ රැකියාවකට යාමය. කෙතරම් දුක් ගැහැට විඳින්නට සිදු වුව ද තම දරුවන්ගේ, තම පවුලේත් අනාගත අභිවෘද්ධිය පිණිස එම කාන්තාවන් දුක්ගැහැට විඳ දරාගන්නේ කෙලෙස හෝ තම අරමුණ කරා ළඟා වීමේ අරමුණින් යුතුවය.

එහෙත්, කුඩා දරුවන් නිවසේ තනිකර දමා කඳුළු කඩා හැලෙන දෙනෙතත්, වාවනු බැරි සිතත් එකලස් කර ගනිමින් බිරින්දෑවරු එලෙස අසීමිත කැපකිරීමක් කළද ඇතැම් නොහික්මුණු සහ ආත්මාර්ථකාමී ස්වාමිපුරුෂයන් හේතුවෙන් අසරණ දරු පැටවුන් මෙන්ම විදේශගතව දුක් විඳින කාන්තාවන්ද මේ වන විට අසරණ තත්ත්වයට පත්වෙමින් සිටින බව මාධ්‍ය වාර්තා ඔස්සේ දක්නට ඇත්තේ නෙතඟට කඳුළක් එක් කරමිනි.

එවැනි නවතම සිදුවීමක් වාර්තා වූයේ මාතර පොලිස් කොට්ඨාසයට අයත් දෙණියාය පොලිස් වසමෙනි. ඒ සිද්ධිය පොලිස් පොතේ සටහන් වන්නේ මෙසේය.



දෙණියාය පොලිස් බලප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විදේශගතව සිටින තම බිරිය එහි සිට එවන මුදල් මදි බව පවසමින් සහ බිරිය විසින් ඇගේ මවුපියන්ට ලබාදෙන මුදල් ද තම ගිණුමට බැර කරන ලෙස ඉල්ලමින් තම වයස අවුරුදු 05ක දියණියට පහර දෙමින් කෲරත්වයට පත්කරන්නට පටන් ගත්තේ මේ පිළිබඳ දැනගත් පසුව බිරිය වැඩිපුර මුදල් තමා වෙත එවාවි යැයි යන සිතුවිල්ල සිතේ තබාගෙනය.

දරුවා එලෙස කෲරත්වයට පත් කරන ආකාරය ඡායාරූප සහ වීඩියෝගත කර බිරියට යවා ඇය බිය කර මුදල් ලබාගැනීම එම පුද්ගලයාගේ උත්සාහය වී ඇත. ඔහුට එම ක්‍රියාව සිදු කරගෙන යන්නට හැකි වූයේ ඉතාම කෙටි කාලයක් පමණි. ඔහුගේ මෙම ක්‍රියා කලාපය පිළිබඳව පොලිසියට තොරතුරු වාර්තා වන්නට වැඩි කාලයක් ගත වූයේ නැත.

දෙණියාය පොලිස් ස්ථානාධිපති චන්දන අමරරත්නට අදාළ කාන්තාවගේ මව විසින් කරන ලද පැමිණිල්ලට අනුව ලද තොරතුරුවලින් අදාළ පුද්ගලයා දරුවාට පහර දෙමින්, කෲරත්වයට පත් කිරීම පිළිබඳව සම්පූර්ණ තොරතුරු වාර්තා වූ අතර, චන්දන අමරරත්න තම පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කරුණාරත්න, ළමා සහ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී උප පොලිස් පරීක්ෂක සුලෝචනා යන නිලධාරින් කැඳවා මේ පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙසත් අදාළ තොරතුරු සත්‍ය නම් වහා එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන විශේෂ විමර්ශනයක් කරන ලෙසත් පවසන ලදි. ඒ අනුව කඩිනමින් පරීක්ෂණ ආරම්භ කෙරිණි.

තම ප්‍රධානියාගේ උපදෙස් පරිදි පොලිස් කණ්ඩායමක් සූදානම් කරගත් උප පොලිස් පරීක්ෂක කරුණාරත්න සහ උප පොලිස් පරීක්ෂක සුලෝචනා ජීප් රථය වෙත ගමන් කරමින් සිටියදී ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන අමරරත්න ද එහි පැමිණ ගමනට එක් වූයේ දරුවන් ඇති පියෙකු ලෙස මේ ගැන ඇති වූ දැඩි චිත්ත පීඩාව නිසාය.



ජීප් රථයට නැඟගත් පොලිස් කණ්ඩායම වහා දෙණියාය, බටයාය ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවසට ගොස් පරීක්ෂා කරන ලද අතර, පොලිස් කණ්ඩායම එහි ළඟා වන විටත් සැකකරු නීති විරෝධී මත්පැන් පෙරමින් සිටියේය. පොලිස් කණ්ඩායම් පළමුව එම සිදුවීමට අදාළව සැකකරු අත්අඩංගුවට ගන්නා ලද්දේ අනතුරුවය. එලෙස අත්අඩංගුවට ගත් 34 හැවිරිදි සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වූයේ කෲරත්වයට ලක්වන දියණිය සැකකරුගේ දෙවනි විවාහයේ දරුවෙක් බවයි.

ඔහු කලවාන ප්‍රදේශයෙන් පළමුව විවාහය සිදුකරගෙන පුතෙකු සහ දියණිය සමඟ බිරිය අතහැර දෙණියායට පැමිණි නැවත මතුගම ප්‍රදේශයේ කාන්තාවක් සමඟ විවාහ වී සිටින බව පොලිසිය අනාවරණය කර ගත්තේ අනතුරුවය. එම කාන්තාව ද කලින් විවාහ වී දියණියක් ද සිටින අයෙකි. එම දියණිය ඇගේ මවගේ ළඟ තබා වියදමට මුදල් යවමින් සිට ඇති බවත් පොලිසිය අනාවරණය කර ගත්තේය. එම තොරතුරුව ඔස්සේ වැඩිදුරටත් සිදුකළ විමර්ශන මත පොලිස් කණ්ඩායම අනාවරණය කරගත්තේ කුඩා දියණියට සැකකරු ඇගේ කොණ්ඩයෙන් අල්ලා පහර දෙන බවත් එලෙස පහර දෙන අයුරු සිය ජංගම දුරකතනයෙන් වීඩියෝකර විදේශගතව සිටින බිරියට එම වීඩියෝ දර්ශන යවා ඇති බවයි.

විදේශගතව සිටි මව විසින් සිය දරුවාට සැමියා පහර දෙන වීඩියෝ දර්ශන නරඹා හැඬූ කඳුළින් යුතුව ඒ බව නාගොඩ ප්‍රදේශයේ පදිංචි මවට දැනුම්දී තිබේ. ඒ අනුව මව දෙණියාය පොලිසියට ඉකුත්දා මේ ගැන පැමිණිලි කර තිබුණි.

“මේ සිදුවීම් හරිම කනගාටුදායකයි. ඒ ගෙදරට ගියාට පස්සේ ඒ දරුවගේ හැසිරීම් රටා දැක්කම ඇතිවුණේ පුදුම දුකක්. විශේෂයෙන් කාන්තාවන් මේ ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි. කොච්චර අගහිඟකම් තිබුණත් දරුවන් තනිකර දමා යෑම මවුවරුන් කළ යුත්තේ ඉතා කල්පනාවෙන්.

නැත්නම් මේවැනි සිදුවීම් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි” යැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවසුවේය. සැකකරුගේ මවද රෝගී තත්ත්වයෙන් පෙළෙන අතර, ඇතැම් දිනවල සැකකරු ඇයට ද පහර දී නිවසින් එලවා දමන බව ද මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහ, සහකාර පොලිස් අධිකාරී ලාල් චන්ද්‍රසිරි යන නිලධාරයන්ගේ උපදෙස් මත දෙණියාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන අමරරත්න, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කරුණාරත්න, ළමා සහ කාන්තා කාර්යංශයේ ස්ථානාධිපනි උප පොලිස් පරීක්ෂක සුලෝචනා, සැරයන් 61990 සරත්, කොස්තාපල්වරුන් වන 86807 ප්‍රසංග, කාන්තා කොස්තාපල් 12175 අත්තනායක යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

(පොලිස් පරීක්ෂණ මත ලිපිය සකස් කෙරිණි)

ගන්දර - ජයසිරි පේදුරුආරච්චි